ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත් කීර්තිමත් ආයතයක් බවත්, එහි අධිපතිවරයා එම ආයතනයේ විශ්වසනීයත්වය මෙන්ම, කීර්තිය උසස් බවට පත්කිරීමේ වගකීම දැරිය යුතු බව තමා විශ්වාස කරන බවත් නව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.
නව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ අදහස් දක්වා සිටියේ, අද (04දා) ජනාධිපතිවරයා අතින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත්වීම් ලැබීමෙන් පසුව, ශ්‍රී ලංකා මහ බැංකුවේදී සිය සමාරම්භක කතාව කරමිනි.
1949 අංක 58 දරණ මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත්කිරීම නිල වශයෙන් පත් කෙරිණි. ඒ අනුව, ආචාර්ය කුමාරස්වාමි මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරනු ඇති බව මහ බැංකුව පවසයි.
වර්ෂ 1974 සිට 1989 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික නලධාරියෙකු වශයෙන් කටයුතු කළ ආචාර්ය කුමාරස්වාමි මහතා, ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාන හා බැංකු අධීක්ෂණ යන දෙපාර්තමේන්තුවලද සේවය කළ අතර, 1981 සිට 1989 කාලය තුළ මුදල් අමාත්‍යාංශය වෙත අනුයුක්ත කරන ලදී.
1990 සිට 2008 දක්වා කාලය තුළ පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයේ විවිධ තනතුරු දැරූ ඒ මහතා එහි ආර්ථික කටයුතු අධ්යක්ෂ හා පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ යන තනතුරුද හෙබවීය.
මීට අමතරව, ආචාර්ය කුමාරස්වාමි මහතා 2010 ජනවාරි මස සිට ජූලි මාසය දක්වා පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයේ සමාජ පරිවර්තනය සඳහා වූ වැඩසටහන් අංශයේ අධ්යක්ෂවරයා ලෙසද කටයුත කර ඇත.
ආචාර්ය කුමාරස්වාමි මහතා 2013 ජනවාරි මස සිට 2015 ජනවාරි මස දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කළ අතර, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ උපදේශකයෙකු ලෙසද මෑතක් වනතුරුම කටයුතු කළේය.
සිය ප්‍රථම උපාධිය එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් හිමිකර ගත් ඒ මහතා, සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියද ලබාගත්තේය.
සී.ආර්. සහ එෆ්.සී. කණ්ඩායම නියෝජනය කළ ප්‍රවීණ රගර් ක්‍රීඩකයෙකු වූ ආචාර්ය කුමාරස්වාමි මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමද නියෝජනය කළේය. ඒ මහතා ටැමිල් යූනියන් ක්‍රීඩා මාජය නියෝජණය කළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකුද වෙයි.