ගෙවීගිය දශකය පුරා ශ්‍රී ලංකා මහ බැංකුව තුළ පසුගිය පාලනාධිකාරිය විසින් සිදුකරනු ලැබූ කළමනාකරණ අවභාවිතයන් පැහැදිලි කිරීම සඳහා තමා මහ බැංකුව හා සම්බන්ධ කිසිදු රහස්‍ය ලේඛනයක් හෙළිදරව් නොකළ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පවසයි.
කෙසේ වෙතත්, 2015 වසරේදී සිය අභිමානවත් 65 වැනි වසර සමරන ශ්‍රී ලංකා මහ බැංකුව සතු වටිනාකම් පසුගිය දුෂ්කර වූ කාලපරිච්ඡේදය පුරා ආරක්ෂා කරගැනීමේ ගෞරවය, තමා මෙම ආයතනයේ සේවය කළ 1980 සිට 1990 කාලයේ පටන් එහි සිටි සිය සහෘදයන්ද ඇතුළු සමස්ත මහ බැංකු කාර්ය මණ්ඩලයට පිරිනමන බවද අර්ජුන මහේන්ද්‍රන් මහතා පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා විසින් යොමුකර ඇති ලිපියකින් වත්මන් අධිපතිවරයා වන තමාටත්, ශ්‍රී ලංකා මහ බැංකුවටත් අපවාද නැගීමේ කණගාටුදායක උත්සාහයක නිරතව ඇති බව පෙනීයන්නේ යැයි පෙන්වාදෙන අර්ජුන මහේන්ද්‍රන් මහතා, පසුගිය කාලය පුරා ශ්‍රී ලංකා මහ බැංකුව තුළ සිදුවූ, දැනටමත් පොදු මහජනතාව දන්නා, ඇතැම් කළමනාකරණ අවභාවිතයන් පිළිබඳ මෙසේ කරුණු ගෙනහැර දැක්වීමක් සිදුකරයි. එහිදී, අර්ජුන මහේන්ද්‍රන් මහතා පෙන්වා දෙන්නේ,
-
"නිසි පරිදි අවදානම් කළමනාකරණය සිදුනොකිරීම හේතුවෙන් රටට විශාල වැය බරක් දැරීමට සිදුවූ බොරතෙල් සඳහා වන මිල ආරක්ෂණ ගනුදෙනුවේ (Hedging) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග මහ බැංකුව එක්ව කටයුතු කරනු ලැබුවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා මිල ආරක්ෂණ ක්රමෝපායක් ලබාදෙනු ලැබූ ජාත්‍යන්තර බැංකුවලට ඒ සඳහා වන්දි වශයෙන් ඇ.ඩො.බිලියන ගණනාවක් ගෙවීමට අප රටට සිදුවුණා.
-
ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ සංචිත ආයෝජනය සම්බන්ධ ආයෝජන ප්‍රතිපත්ති අත්පොතේ ප්‍රතිපාදනයන්ට පටහැනිව සිදුකරනු ලැබූ ග්‍රීක රජයෙන් නිකුත්කළ අතුරු බැඳුම්කරයන්හි සිදුකළ ආයෝජන හේතුවෙන් රජයට ඇ.ඩො.බිලියන ගණනක් පාඩු සිදුවුණා.
-
Hyatt හෝටල් ව්‍යාපෘතිය වැනි සාම්ප්‍රදායික නොවන ආයෝජනයන් හි සේවක අර්ථසාධක අරමුදල් ආයෝජනය කිරීම හේතුවෙන් එකී අරමුදලට විශාල වශයෙන් මූල්‍ය පාඩු සිදුවුණා.
-
ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ සංචිත සැලකිය යුතු ප්‍රමාණයක් ඉතා ඉහළ මිලකට රත්රන්වල ආයෝජනය කිරීම හේතුවෙන් වෙළෙඳ පොළේ සිදු වූ මිල උච්චාවචනයන් නිසා 2013 හා 2014 වසරවලදී ශ්‍රී ලංකා මහ බැංකුවට රු.බිලියන ගණනක පාඩු සිදුවුණා.
-
සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අනෙකුත් රජයේ මූල්‍ය ආයතන විවිධ පෞද්ගලික වාණිජ බැංකු කොටස්වල ආයේජනය සිදුකළ අතර, එය මූල්‍ය ක්ෂේත්රයේ නියාමකයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතුවලට බාධාවක් වූයේ එකී වාණිජ බැංකුවල ස්වාධීනත්වය පිළිබඳව අන්ධව සිටීමට මහ බැංකුවට සිදුවූ නිසයි.
-
ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති දෙපාර්තමේන්තුව හා පුහුණු කටයුතු දෙපාර්තමේන්තුව වසා දැමීම හේතුවෙන් ඵලදායී ලෙස නීති කෘත්‍යයන් හැසිරවීමේ සහ සිය අරමුණු ඵලදායී ලෙස ළඟාකර ගැනීම සඳහා කටයුතු කරන කාර්යමණ්ඩලයේ දැනුම හා කුසලතාවන් ප්‍රමාණවත් පරිදි සංවර්ධනයට මහ බැංකුවට තිබූ අවස්ථාව ඇහිරී තිබුණා.
-
2018 වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ මෙරටට ලබාගැනීමට ලංසු තැබීමේ ක්‍රියාවලිය සඳහා පිහිටුවන ලද පෞද්ගලික සමාගමක කටයුතු සඳහා මහ බැංකුවේ ස්ථිර නිලධාරීන් සහභාගි කරවනු ලැබූ අතර, මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය රෙගුලාසිවලට පරිබාහිරව වියදම් කිරීමට මෙකී නිලධාරීන්ට බලපෑම් සිදුකළා. ආරම්භයේ පටන්ම පොදු මතයට පටහැනි වූ ව්‍යාපෘතියක කාර්යයන් වෙනුවෙන් එම නිලධාරීන්ව, විශාල කණ්ඩායම් ලෙස රාජකාරී නිවාඩු මත විදේශ සංචාරවල යොදවාගනු ලැබුණා.
-
ඉහත දැක්වූ සියලුම බාධාවන් හේතුවෙන් පසුගිය දශකය පුරා ශ්‍රී ලංකා මහ බැංකුවට සිය ප්‍රධාන අරමුණු වන මිල ස්ථායීතාව හා මූල්‍ය පද්ධති ස්ථායීතාව සම්බන්ධ සහ උද්ධමනය අවම අගයක පවත්වා ගැනීම සම්බන්ධ පර්යේෂණ කටයුතුවල නිරත වීමට අවස්ථාව ලැබුණේ ඉතාමත් අල්ප වශයෙනුයි.
-
වාණිජ බැංකු සඳහා ලබාදුන් ස්ථර දෙකක ක්‍රියාත්මක වන ප්‍රතිමිලදීගැනුම් අනුපාත වැනි පිළිගත් අන්තර්ජාතික ප්‍රමිතීන්ගෙන් පරිබාහිර වූ සාම්ප්‍රදායික නොවන හා අනුවණකාරී මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කළා.
-
2014 වසරේදී කෘත්‍රිමව පහත හෙළන ලද පොලී අනුපාත මත පදනම්ව, භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව හේතුවෙන් රජයට වූ පාඩුවක් මවා පෙන්වමින් විපක්ෂයේ දේශපාලඥයන් විසින් මා වෙත අපවාද එල්ල කරනු ලබනවා. මෙය ඉතාමත් හාස්‍යජනකයි. කාලය, මුදලේ වටිනාකමක් සහ 2014 වසරේ අගභාගයේදී කෘත්‍රිමව සකසන ලද පොලී අනුපාතවල ස්වභාවය වැනි මූලිකාංග නොතකා හරිමින් මවාපානු ලබන මේ ගණනය කිරීම්වල සාවද්‍යභාවය අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුවෙකුට පවා වටහාගත හැකි වනු ඇති.
-
ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වන සංවිධානය (OECD) විසින් 1 - 7 දක්වා ව්‍යාප්තියක් ඇති ණය ශ්‍රේණිගත කිරීමක ශ්‍රී ලංකාවේ ස්ථානය 5 - 6 දක්වා පහත හෙළා තිබෙනවා. මෙහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා රජයට වාණිජ ණය ලබාදෙන්නන් විසින් රජයේ වාණිජ ණය පැහැරහැරීම් සඳහා 10% ක ඉහළ රක්ෂණ වාරිකයක් නියම කිරීමයි. තවද, 2012 වසරේදී ප්‍රධාන ජාත්‍යන්තර තක්සේරු ආයතන විසින් ශ්‍රී ලංකාවේ ස්ථානය ධනාත්මක තත්ත්වයේ සිට ස්ථාවර තත්ත්වයට පහත හෙළා ඇත්තේ ශ්‍රී ලංකාවේ වාණිජ වෙළෙඳ පොළවල්වලින් අතිරික්ත ලෙස ණය ලබාගැනීම හේතුවෙනුයි.
මෙම කරුණු මවිසින් හෙළිදරුව් කිරීමට කල්පනා කළේ ශ්‍රී ලංකා මහ බැංකුව කේන්ද්‍ර කරගෙන නිර්මාණය වන පදනම් විරහිත සම්ප්රඵලාප හැකි ඉක්මණින් පැහැදිලි කළ යුතු බව මගේ අදහස වූ නිසයි. මා කලින් සඳහන් කළ ආකාරයට, පසුගිය පාලනාධිකාරියේ ක්‍රියාකලාපය හේතුවෙන් අවදානමට ලක්වූ විධිමත් ක්‍රියාපටිපාටීන් හා පරිචයන් සහ නිසි අයුරින් අරුත්ගැන්වීමට අසමත් වූ වෘත්තීයමයභාවය නැවත බලගැන්වීම පිළිබඳ හොඳම සාක්ෂි ශ්‍රී ලංකා මහ බැංකුව තුළින් හා එහි කාර්යමණ්ඩලය තුළින් දැන් සපයාගත හැකියි." යනුවෙනි.
සිය පටු දේශපාලන අභිමතාර්ථ මුදුන් පමුණුවාගැනීම උදෙසා පොදු මාධ්‍ය මගින් ශ්‍රී ලංකා මහ බැංකුවට පහර එල්ල කිරීමෙන් වළකින ලෙස හිටපු අධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අර්ජුන මහේන්ද්‍රන් මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වශයෙන් එකී ආයතනයේ ස්වාධීනත්වය හා ගෞරවය ආරක්ෂා වන අයුරින් ඒ මහතා මාධ්‍ය හා පොදු මහජනතාව ඉදිරියේ හැසිරෙනු ඇතැයි තමා උදක්ම බලාපොරොත්තු වන බවද පවසා සිටියි.