මධ්‍යම තැන්පතු ක්‍රමය පිළිබඳව ඔබ හරියටම දැනුවත්ද?
කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කරන්නෙකු තම කොටස් ගිණුම පිළිබඳව නිසි අවබෝධයක් තිබීම ඉතා වැදගත් අතර, එහිදී, ගිණුමක් ආරම්භ කිරීමේ සිට එහි අවසානය දක්වා ආයෝජකයකු වශයෙන් ඔබ දැන සිටිය යුතු කරුණු රැසක් පෙන්වාදිය හැකිය. ඒ අනුව, මීට පෙර ලිපි දෙකකින් සී.ඩී.එස් (CDS) ගිණුමක් යන්න කෙටියෙන් හඳුන්වා දුන් අපි, සී.ඩී.එස් ගිණුමක් සහ බැංකු ගිණුමක් අතර වෙනස, කොටස් ගනුදෙනු කිරීමට මධ්‍යම තැන්පතු ක්රමයේ ගිණුමක් විවෘත කිරීම අවශ්‍යමද, සී.ඩී.එස් ගිණුමක් ආරම්භ කරන්නේ කෙසේද, ඔබට කැමති කොටස් තැරැව්කාර ආයතනයක් වෙතින්, කොටස් ගිණුම් වර්ග කිහිපයක් ආරම්භ කළ හැකි බව ඔබ දන්නවාද, කොටස් සහතිකපත් හෝ කඩදාසි භාවිතයක් දැන් දක්නට නොමැති බව ඔබ දන්නවාද, ඔබගේ සමාගමේ ලේකම්වරයා ගැන දැනගැනීමට අවශ්‍ය නම්, මධ්‍යම තැන්පතු ක්‍රමය සම්බන්ධ කරගත හැකි ක්‍රම, මධ්‍යම තැන්පතු ක්‍රමය පිළිබඳව ඔබ හරියටම දැනුවත්ද, සී.ඩී.එස් ගිණුමක ඇති කොටස් නැවත සහතිකයක් වශයෙන් ලබාගත හැකිය, විවිධ නම්වලින් හඳුන්වන්නේ එකම ගිණුමද, CDS ගිණුමක් ආරම්භ කිරීමේදී දැනගත යුතු කරුණු, ආයෝජකයා, ආයෝජන උපදේශකවරයා, කොටස් තැරැව්කාර ආයතනය සහ කොටස් වෙළෙඳ පොළ අතර සම්බන්ධතාව, CDS ගිණුම් එකකට වඩා පවත්වාගත හැකිද, ගනුදෙනු සිදු නොකළොත් ගිණුමට කුමක් සිදුවේද, CDS ගිණුමෙහි ඇති ආරක්ෂාව කෙසේද, ලැයිස්තුගත සමාගම් සම්බන්ධයෙන් මධ්‍යම තැන්පතු ක්‍රමය සිදුකරන සේවා, කොටස් ගනුදෙනුවක් සිදුවූ සැණින් විස්තර ලබාගත හැකිද, ගනුදෙනුවල වැරදීමක් සිදුවී ඇත්නම් කුමක් කළ හැකිද ආදී මාතෘකා යටතේ වැඩිදුරටත් තොරතුරු ගෙන ආවෙමු. අද එතැන් සිට මෙම කතාබහ ඇරඹෙයි.
කොටස් පැවරීමක් කළ හැකිද?
යම් ආයෝජකයකුට තම ගිණුමේ ඇති කොටස් තවත් පාර්ශ්වයකට පැවරීමට හැකියාව ඇත. එනම් දෙමවුපියන් සතුව ඇති කොටස් තම දූ දරුවන්ටත්, දූ දරුවන්ගෙන් දෙමවුපියන්ටත්, ස්වාමි පුරුෂයාගෙන් බිරිඳට සහ බිරිඳගෙන් තම ස්වාමි පුරුෂයා වෙත ආදී වශයෙන් කොටස් පැවරීමටත් පහසුකම් මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් හඳුන්වාදී ඇත. යම් අයෙකු එසේ කොටස් පැවරීමක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ප්‍රථමයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වෙත එය ඉදිරිපත් කර පූර්ව අවසරය ලබාගැනීමද අවශ්‍ය වේ.
කොටස් පැවරීම පිළිබඳ සාකච්ඡා කිරීමේදී විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් කාරණයක් වන්නේ යම් ගිණුම් හිමියෙකුට තම කොටස් තැරැව්කාර ආයතනයද වෙනස් කිරීමට හැකියාව ඇති බවයි. එනම්, කොටස් ගිණුම වෙනත් කොටස් තැරැව්කාර ආයතනයකට මාරු කරගැනීමටද හැකියාව ඇත. ඒ සඳහා ආයෝජකයකු කළ යුත්තේ තම කොටස් තැරැව්කාර ආයතනය හරහා මධ්‍යම තැන්පතු ක්‍රමයෙන් ඉල්ලීමක් කිරීමයි. එය ආයෝජකයකුට කිසිදු වියදමක් දැරීමකින් තොරව සිදුකර ගැනීමට හැකියාව ඇත.
මධ්‍යම තැන්පතු ක්‍රමය ආයෝජකයන් සඳහා ලබාදී ඇති නව පහසුකම් මොනවාද?
මධ්‍යම තැන්පතු ක්‍රමය ආයෝජකයන් වෙනුවෙන් නව පහසුකම් කිහිපයක් මෑතකාලීනව හඳුන්වාදී ඇත. ඒවා නම්,
• විද්‍යුත් ගනුදෙනු වාර්තා ක්‍රමය (e-Statement)
• කෙටි පණිවුඩ සේවාව මගින් අනතුරු ඇඟවීම (SMS Alerts)
• විද්‍යුත් සම්බන්ධතා ක්‍රමය (e-Connect)
දැන් ඔබේ සී.ඩී.එස් වාර්තාව ඊ මේල් මගින් ලබාගත හැකි බව ඔබ දන්නවද? (E-Statement)
තැපැල් මගින් ලැබෙනතුරු බලා සිටිනවාට වඩා පහසු ක්‍රමයක් මගින් තම සී.ඩී.එස් වාර්තාව ලබාගැනීමට මධ්‍යම තැන්පතු ක්‍රමය මේ වනවිට කටයුතු යොදා ඇත. එය ඉතා මෑතකදී හඳුන්වා දුන් අතර, එය ආයෝජකයන්ට වඩාත් පහසුවෙන් තම ගිණුමෙහි ඇති විස්තරවල නිවැරදි භාවය තහවුරු කර ගැනීමට අවස්ථාව උදාකර දී ඇත. ඒ සඳහා කළ යුත්තේ එම පහසුකම ඉල්ලීමට අදාළ පෝරමය තම කොටස් තැරැව්කාර ආයතනය වෙතින් හෝ මධ්‍යම තැන්පතු ක්රමයෙහි වෙබ් අඩවිය හරහා ලබාගෙන එය නිසි පරිදි සම්පූර්ණ කර තම කොටස් තැරැව්කාර සමාගම හරහා මධ්‍යම තැන්පතු ක්‍රමය වෙත භාරදීමයි.
මෙම පහසුකම එක් වරක් ලබාගත් ආයෝජකයන්ට ඊළඟ සෑම මසකට වරක්ම ගනුදෙනුවක් සිදුකළත් නොවුණත් ගිණුමෙහි යම් ශේෂයක් ඇත්නම් පමණක් CDS වාර්තාවාත් ලබාදීමට කටයුතු සලසා ඇත. එසේම කොටස් සහ ණයකර ගනුදෙනු සඳහා තනි වාර්තාවක් ලැබෙනු ඇත.
කොටස් තැරැව්කාර ආයතනවල ගනුදෙනු පිළිබඳ වාර්තා තබාගැනීමේ අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා මෙම වාර්තා ආයෝජකයාට යවනවාත් සමග කොටස් තැරැව්කාර ආයතනවලටද යොමු කරනු ඇත.
සමාගම් සඳහාද මෙම පහසුකම ලබාගත හැකි අතර, ඒ සඳහා සමාගමේ ඊමේල් ලිපිනය ලබාදිය හැකිය. එමෙන්ම අදාළ ගිණුම් හිමියා හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට එහි තොරතුරු ලබාගැනීමටද නොහැකිය.
(E-Statement) හා සම්බන්ධ නියමයන් සහ කොන්දේසි කිහිපයක්
• සමාගම් හා අරමුදල් මෙම පහසුකම ලබාගැනීමට බලාපොරෙත්තු වන්නේ නම් එම ආයතනවල නිල ඊ-මේල් ලිපිනයන් ලබාදිය යුතුය.
• ගිණුම් හිමියා හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට (E-Statement) සමග සම්බන්ධ විය නොහැකිය.
• යම්කිසි අනවසර ගනුදෙනුවක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව අප්‍රමාදව තම කොටස් තැරැව්කාර ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වෙත හෝ එහි අනුකූලතා නිලධාරී වෙත දැනුම් දිය යුතුය.
• දින 7ක් ඇතුළත ගනුදෙනුකරුට නිසි විසඳුමක් නොලදහොත් එය කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දිය යුතුය.
• ඊ-මේල් ලිපිනය වෙනස් වුවහොත් හැකි ඉක්මනින් නව ඊ-මේල් ලිපිනය දැනුම් දියු යුතුය.
ඔබ සිදුකළ ගනුදෙනුව පිළිබඳ විස්තර ගනුදෙනුව සිදුකළ සැණින් කෙටි පණිවිඩයක් මගින් (SMS Alert)
කොළඹ කොටස් වෙළෙඳ පොළ සහ මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් ආයෝජකයන් වෙනුවෙන් මෑතකදී ලබාදුන් තවත් විශේෂ සේවාවක් වන්නේ කෙටි පණිවිඩ සේවාවයි. එමගින් ආයෝජකයෙකු යම් ගනුදෙනුවක් සිදුකළ සැණින් ගනුදෙනුව සිදුවූවාද යන්න තහවුරු කර ගැනීමට උදව්වක් වේ. ඒ සඳහා ලියාපදිංචි වීමට අදාළ අයදුම්පත මධ්‍යම තැන්පතු ක්රමයෙහි වෙබ් අඩවියෙන් හෝ තම කොටස් තැරැව්කාර ආයතනයෙන් ලබාගෙන එය නිසිපරිදි සම්පූර්ණකර නැවත තම කොටස් තැරැව්කාර ආයතනය හරහා මධ්‍යම තැන්පතු ක්‍රමය වෙත ලබාදිය යුතු වේ. අලුතින් සී.ඩී.එස් ගිණුම් ආරම්භ කරන්නන්ට සී.ඩී.එස් ගිණුමක් ආරම්භ කරන අවස්ථාවේදීම ඒ සඳහා ලියාපදිංචි විය හැකිය.
මෙම කෙටි පණිවුඩ සේවාව මගින් ආයෝජකයෙකුට ලබාගත හැකි සේවාවන් අතර තමන් සිදුකළ
• කොටස් විකිණීමක්
• කොටස් මිලදී ගැනීමක්
• කොටස් සහතික තැන්පත් කිරීමක්
• කොටස් ආපසු ගැනීමක්
• ගිණුම් වෙනස්කර ගැනීමක් සම්බන්ධ විස්තර ඇතුළු තවත් සේවාවන් අන්තර්ගත වේ.
කෙසේ වුවද මේ හා සම්බන්ධ කොන්දේසි ද ඇතුළත් සියලු විස්තර මධ්‍යම තැන්පතු ක්රමයෙහි වෙබ් අඩවියට පිවිසීම මගින් වඩාත් පැහැදිලි කර ගත හැකිය.
SMS Alerts හා සම්බන්ධ නියමයන් සහ කොන්දේසි කිහිපයක්
• මෙම තොරතුරු ලබාදෙන්නේ ගිණුම් හිමියාගේ ඉල්ලීමක් මත පමණි.
• එමෙන්ම මෙම තොරතුරු ආයෝජකයා විසින් පහසුකම ඉල්ලීම සඳහා ඉදිරිපත් කළ අයදුම් පතේ සඳහන් දුරකථන අංකයට පමණක් ලබාදේ.
• ගිණුම් හිමියාගේ දුරකථනය GSM තත්ත්වයේ පවතින එකක් විය යුතුය.
• දුරකථන අංකය වෙනස් වූ විට ඒ පිළිබඳව ක්ෂණිකව දැනුම් දිය යුතුය.
• මෙම පහසුකම් එක් එක් ගිණුම් හිමියාගේ දුරකථන සේවා සැපයුම්කරුවන්ගේ පවතින පහසුකම් මත තීරණය වේ.
විද්‍යුත් සම්බන්ධතා ක්‍රමය (e-Connect)
මෙම පහසුකම ලබාගැනීම සඳහා අවශ්‍ය අයදුම්පත මධ්‍යම තැන්පතු ක්‍රමයෙන් ලබාගෙන එය නිසි පරිදි සම්පූර්ණ කර තම කොටස් තැරැව්කාර ආයතනය හරහා නැවත CDS වෙත ලබාදිය යුතුය. මෙම පහසුකම් සඳහා දායක වූ පසු ආයෝජකයන්ට ආසන්නතම කාලයකදී සිදුකළ ගනුදෙනු විස්තර, මාසික ගිණුම් ප්‍රකාශන, පූර්ව මාස සඳහා වන අමතර මාසික ගිණුම් ප්‍රකාශන සහ මධ්‍යම තැන්පතු ක්‍රම ගිණුමෙහි සියලු විස්තර වාර්තා ආදිය තම පරිගණකය හරහා හෝ දුරකථනය හරහා ලබාගැනීමට හැකියාව ලැබේ.
සී.ඩී.එස් ගිණුම් හිමියෙකු මිය ගිය විට තත්ත්වය කුමක්ද?
මධ්‍යම තැන්පතු ක්රමයෙහි ගිණුමක් ඇති කොටස් හිමියෙකු මියගිය විට තත්ත්වය පිළිබඳවද සමහර ආයෝජකයන්ට නිසි අවබෝධයක් නොමැත. එයද කොටස් වෙළෙඳ පොළහි ආයෝජනය කරන්නෙකු දැන සිටිය යුතු කාරණාවකි. එහිදී සිදුවන්නේ මිය ගිය පුද්ගලයාගේ සි.ඩී.එස් ගිණුමෙහි ශේෂය සොයා බැලීම සඳහා අදාළ පෝරමය සම්පූර්ණ කර මධ්‍යම තැන්පතු ක්‍රමය වෙත භාරදීමයි. ඉන් අනතුරුව එම ලියකියවිලි අදාළ හිමිකරුවන් විසින් හෝ අදාළ කොටස් තැරැව්කාර ආයතනය විසින් ඊට සම්බන්ධ විස්තර සමාගමේ ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.
සියලු ලිපි ලේඛන නිසිපරිදි ඇති බවට තහවුරු වූ පසු සමාගමේ අවසරය කොටස් තැරැව්කාර ආයතනය වෙත ලබාදෙනු ඇත. ඉන් අනතුරුව මධ්‍යම තැන්පතු ක්‍රමයෙන් අදාළ උරුමකරුවන්ට තම හිමිකම් ලබාගැනීමට හැකියාව ඇත. මෙහිදී ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන අතර මිය ගිය පුද්ගලයාගේ මරණ සහතිකය, අවසන් කැමැත්ත සඳහන් කළ ලිපි ලේඛන (ඇත්නම්) නීත්‍යනුකූල උරුමකරුවන් සනාථ කිරීම සඳහා දිවුරුම් ප්‍රකාශ ආදී තවත් ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුවේ.