මධ්‍යම තැන්පතු ක්‍රමය පිළිබඳව ඔබ හරියටම දැනුවත්ද?
කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කරන්නෙකු තම කොටස් ගිණුම පිළිබඳව නිසි අවබෝධයක් තිබීම ඉතා වැදගත් අතර, එහිදී, ගිණුමක් ආරම්භ කිරීමේ සිට එහි අවසානය දක්වා ආයෝජකයකු වශයෙන් ඔබ දැන සිටිය යුතු කරුණු රැසක් පෙන්වා දිය හැකි බවත් අපි මීට පෙර සඳහන් කළෙමු. එහෙත් යථා තත්ත්වය නම් බොහෝ ආයෝජකයන් තම කොටස් ගිණුම හා සම්බන්ධ තොරතුරුවලින් දැන සිටින්නේ ඉතා අල්ප ප්‍රමාණයක් බවත් එවර අපි සිහිපත් කළෙමු. මෙහිදී අපේ අරමුණ වන්නේ නවක ආයෝජකයන්ට සහ දැනට ආයෝජනයෙහි නිරතව සිටින්නන්ට කොටස් ගිණුම හා සම්බන්ධ කරුණු පිළිබඳව යම් අවබෝධයක් ලබාදීම බවත් පසුගිය ලිපියකින් අපි ඔබ වෙත පැහැදිලි කළෙමු.
ඒ අනුව, සී.ඩී.එස් (CDS) ගිණුමක් යන්න කෙටියෙන් හඳුන්වා දුන් අපි, සී.ඩී.එස් ගිණුමක් සහ බැංකු ගිණුමක් අතර වෙනස, කොටස් ගනුදෙනු කිරීමට මධ්‍යම තැන්පතු ක්රමයේ ගිණුමක් විවෘත කිරීම අවශ්‍යමද, සී.ඩී.එස් ගිණුමක් ආරම්භ කරන්නේ කෙසේද, ඔබට කැමති කොටස් තැරැව්කාර ආයතනයක් වෙතින්, කොටස් ගිණුම් වර්ග කිහිපයක් ආරම්භ කළ හැකි බව ඔබ දන්නවාද, කොටස් සහතිකපත් හෝ කඩදාසි භාවිතයක් දැන් දක්නට නොමැති බව ඔබ දන්නවාද, ඔබගේ සමාගමේ ලේකම්වරයා ගැන දැනගැනීමට අවශ්‍ය නම්, මධ්‍යම තැන්පතු ක්‍රමය සම්බන්ධ කරගත හැකි ක්‍රම ආදී මාතෘකා යටතේ වැඩිදුරටත් තොරතුරු ගෙන ආවෙමු. අද එතැන් සිට මෙම කතාබහ ඇරඹෙයි.
සී.ඩී.එස් ගිණුමක ඇති කොටස් නැවත සහතිකයක් වශයෙන් ලබාගත හැකිය
ඔබට යම් අවශ්‍යතාවක් සඳහා ඉදිරිපත් කිරීමට ඉලෙක්ට්‍රොනික් ආකාරයෙන් ඔබගේ සී.ඩී.එස් ගිණුමෙහි ඇති කොටස් සහතිකයක් වශයෙන් නැවත ලබාගත හැකිය. ඒ සඳහා අදාළ පෝරමය සම්පූර්ණ කර තම කොටස් තැරැව්කාර ආයතනය වෙත යොමු කිරීමෙන් අනතුරුව දින 7ක් ඇතුළත එය ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත. මෙහිදී මතක තබා ගතයුත්තේ අදාළ පෝරමය නිසි පරිදි සම්පූර්ණ කිරීමයි.
විවිධ නම්වලින් හඳුන්වන්නේ එකම ගිණුමද?
කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කරන්නන් මෙම ගිණුම හැඳින්වීම සඳහා විවිධ නම් භාවිත කිරීමක් දැකගත හැකි වෙයි. මෙහිදී තමන්ගේ පහසුව සඳහා එම නම් භාවිත කරන අතර ඔවුන් දැන සිටිය යුත්තේ සියලු නම්වලින් හඳුන්වන්නේ එකම ගිණුම බවයි. ඒ අනුව, මධ්‍යම තැන්පතු ක්‍රම ගිණුම, සී.ඩී.එස් (CDS) ගිණුම, කොටස් ගිණුම, සුරැකුම්පත් ගිණුම ආදී නම් ඒ සඳහා විවිධ ආයෝජකයන් භාවිත කරනු ලබයි.
CDS ගිණුමක් ආරම්භ කිරීමේදී දැනගත යුතු කරුණු
මෙම ගිණුම ආරම්භ කිරීම පිළිබඳව සමහර ආයෝජකයන්ට නිසි අවබෝධයක් නොමැති බව පෙනී යන කාරණයකි. එසේම මෙම ගිණුමෙහි ඇති විශේෂත්වයන් පිළිබඳවද බොහෝදෙනා නිසි අවබෝධයකින් කටයුතු කරන බවක්ද නොපෙනේ. මෙම ගිණුම ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන්නේ පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත පමණකි. එය නොමැති කෙනෙකුට තමන් සතුව වලංගු විදේශ ගමන් බලපත්‍රයක් වුවද ඉදිරිපත් කළ හැකිය. මෙම ලියකියවිලිවල ඇති ලිපිනයන් හි දැනට පදිංචි නොමැති නම් පමණක් ස්ථිර පදිංචිය තහවුරු කිරීම සඳහා තමන් නමට ලැබෙන විදුලි බිල්පතක්, දුරකථන බිල්පතක්, ජල බිල්පතක් ආදී යම්කිසි ලියකියවිල්ලක ඡායා පිටපතක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. එමෙන්ම ගිණුම ආරම්භ කරන පුද්ගලයා වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබිය යුතුය.
මෙම ලියකියවිලි සූදානම් කරගෙන තමන්ට සුදුසු කොටස් තැරැව්කාර ආයතනයක් තෝරා ගත යුතුය. එවැනි කොටස් තැරැව්කාර ආයතන 28ක් සහ ණයකර ගනුදෙනු කිරීම සඳහාම පමණක් වන කොටස් තැරැව්කාර ආයතනද දැකගත හැකිය. මෙම කොටස් තැරැව්කාර ආයතනවල සිටින සහතික ලත් ආයෝජන උපදේශකයන් සමග සම්බන්ධ වී තම ගනුදෙනු අවශ්‍යතා ඉටුකර ගැනීමට ආයෝජකයන්ට හැකියාව ඇත. තවද මෙම කොටස් තැරැව්කාර සමාගම් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත යටතේ ලබාගන්නා බලපත්‍රය අනුව මෙම සේවා ආයෝජකයන් වෙනුවෙන් ඉටුකිරීමට නීත්‍යනුකූලවද බැඳී සිටියි.
ආයෝජකයා, ආයෝජන උපදේශකවරයා, කොටස් තැරැව්කාර ආයතනය සහ කොටස් වෙළෙඳ පොළ අතර සම්බන්ධතාව
ඕනෑම ආයෝජකයකු කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ නම් කොටස් තැරැව්කාර ආයතනයකට යා යුතුය. එම කොටස් තැරැව්කාර ආයතනවල අප කලින් පැහැදිලි කළ ආකාරයට සහතිකලත් ආයෝජන උපදේශකයන් සිටින අතර ඔවුන්ගේ සේවය ආයෝජකයන්ට ලබාගත හැකිය. ඒ අනුව, කොටස් ගිණුමක් ආරම්භ කරගැනීමේ සිට කොටස් මිලදී ගැනීම, කොටස් විකිණීම, ඒ සඳහා උපදෙස් ලබාදීම, සමාගම් පිළිබඳ පර්යේෂණ වාර්තා සහ තොරතුරු ආයෝජකයන් වෙත ලබාදීම ඇතුළු සේවා රැසක් මෙම කොටස් තැරැව්කාර ආයතනවල සිටින ආයෝජන උපදේශකයන්ගෙන් ලබාගත හැකිය.
එසේම මෙම සියලුම කොටස් තැරැව්කාර සමාගම් කොළඹ කොටස් හුවමාරුව විසින් හඳුන්වාදී ඇති සමාජික රෙගුලාසි (Member Rules) සමග අනුගතව කටයුතු කළ යුතුය. එම නීතීරීතී මගින් ආයෝජකයන්ගේ අයිතීන් ආරක්ෂා වන පරිදි ගනුදෙනුවල නිරතවීම සඳහා අවශ්‍ය කටයුතු සලසා ඇත. එපමණක් නොව ආයෝජකයන්ට කොටස් තැරැව්කාර ආයතනය, ආයෝජන උපදේශකයන් සහ කොටස් හුවමාරුව පිළිබඳව තම විශ්වාසය ඉහළ නංවා ගැනීමටද එමගින් හැකියාව ලැබේ.
තවද, කොටස් තැරැව්කාර ආයතනයක සිටින ආයෝජන උපදේශකයන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් පවත්වන ලද විභාගයකින් සමත්ව, ඉන් අනතුරුව පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයකින්ද සමත්ව ආයෝජන උපදේශකයන් සඳහා නියමිත සුදුසුකම් සපුරා ඇති අයවලුන් බවද කොටස් වෙළෙඳ පොළෙහි ගනුදෙනු කරන්නන් දැනුවත්ව සිටිය යුතුය.
CDS ගිණුම් එකකට වඩා පවත්වාගත හැකිද?
යම් පුද්ගලයෙකුට තමන් නමින් සී.ඩී.එස් ගිණුම් කිහිපයක් වුවද පවත්වාගෙන යාමට හැකියාව ඇති අතර, එය එක් එක් පුද්ගලයාගේ ගනුදෙනු ස්වභාවය හා ගනුදෙනු අවශ්‍යතාව මත වෙනස් විය හැකිය. එක් එක් තැරැව්කාර ආයතන හරහා වෙන් වෙන් වශයෙන් ගිණුම් පවත්වා ගනිමින් කොටස් ගනුදෙනු කරන පුද්ගලයන් ඕනෑ තරම් දැකිය හැකිය. එභෙත් මෙම ගිණුම් අතර සිදුවන ගනුදෙනු එකිනෙකට සම්බන්ධ නැත. එම ගනුදෙනු වෙන් වෙන් වශයෙන් සිදුකරනු ලබන අතර, එක් කොටස් තැරැව්කාර ආයතනයකින් සිදුකරන ගනුදෙනු අනෙක් තැරැව්කාර ආයතනයෙන් දැකබලා ගැනීමටද හැකියාවක් නොමැත.
අප කලින් පැවසූ ආකාරයට මධ්‍යම තැන්පතු ක්රමයෙහි ඇති ගිණුම් වර්ග කිහිපයක් පවතින අතර, යම් පුද්ගලයෙකුට තනි පුද්ගල ගිණුමක්, හවුල් ගිණුමක් වුවත් ආරම්භ කරගැනීමට හැකියාව පවතී. මෙසේ හවුල් ගිණුමක් ආරම්භ කළ හැකි උපරිම පුද්ගලයන් සංඛ්‍යාව තිදෙනෙකි. එසේම යම් පුද්ගලයෙකුට තමන් සතුව ආයතනයක් පවතී නම්, එම ආයතනය නමින් ආයතනික ගිණුමක් වුවද ඇරඹීමට හැකියාව ඇත.
ගනුදෙනු සිදු නොකළොත් ගිණුමට කුමක් සිදුවේද?
සී.ඩී.එස් ගිණුමෙහි ඇති විශේෂත්වයක් වන්නේ ගනුදෙනු සිදුනොකළොත් එම ගිණුම අවලංගු නොවීමයි. මෙම ගිණුම ඕනෑම කාලයක් ගනුදෙනු සඳහා වලංගු වේ. සමහර පුද්ගලයන් ගනුදෙනු කර යම් කාලයක් යනතුරු නැවත ගනුදෙනු නොකරන අවස්ථා ඇත. එසේම ගිණුම ආරම්භ කර කොටස් මිලදී ගෙන නැවත ඒවා අවුරුදු කිහිපයක් යනතුරු විකුණන්නේ ද නැත. මේ කුමන ස්වභාවයෙන් තම සී.ඩී.එස් ගිණුම පවත්වාගෙන ගියද ඒ සඳහා කිසිදු බාධාවක් නොමැත.
CDS ගිණුමෙහි ඇති ආරක්ෂාව කෙසේද?
මින් අදහස් වන්නේ තම ගිණුමෙහි ඇති කොටස් නැවත ගනුදෙනු කරන තෙක් පවතින ආරක්ෂාව සහ ගිණුමෙහි ඇති කොටස් නැතිවේද යන්න පිළිබඳව ඇතිවන අවිශ්වාසයයි. ඒ පිළිබඳව කිසිදු පුද්ගලයෙකු අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැත. ඕනෑම සී.ඩී.එස් ගිණුමක ඇති කොටස් සම්බන්ධව 100෴ ක ආරක්ෂාවක් සැපයීමට මධ්‍යම තැන්පතු ක්‍රමය නීත්‍යනුකූලව බැඳී සිටී. යම් අයෙකුට තම ජීවිතාන්තය දක්වාම වුවද ගිණුමෙහි කොටස් රඳවා තබා ගැනීමට හැකිය. ඒ අනුව, කොළඹ කොටස් හුවමාරුවෙහි සහ මධ්‍යම තැන්පතු ක්‍රම ඉතිහාසයෙහි සී.ඩී.එස් ගිණුම්වල ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ ගැටළුවක් සොයාගැනීම ඉතාමත් විරල කාරණාවකි.
ලැයිස්තුගත සමාගම් සම්බන්ධයෙන් මධ්‍යම තැන්පතු ක්‍රමය සිදුකරන සේවා
ලැයිස්තුගත සමාගමක් විසින් සිදුකරන හිමිකම් කොටස් නිකුතුවක්, ලාභාංශ ගෙවිමකදී ඊට අදාළ කොටස් හිමියන් පිළිබඳ විස්තර, සංචිත ප්රාග්ධනීකරණයන් හරහා ලබාදෙන නොමිලේ කොටස් ලබාදීම, කොටස් විභේදනය හරහා නිකුත්කළ කොටස් සංඛ්‍යාව වැඩි කිරීම සහ නිකුත් කළ කොටස් සංඛ්‍යාව අඩු කිරීම ආදී සමාගම් කටයුතුවලදී මධ්‍යම තැන්පතු ක්‍රමය තම සහයෝගය ලබාදෙයි. උදහරණයක් ලෙස යම් සමාගමක් ලභාංශ ගෙවීමක් සිදුකරන්නේ නම්, ලාභාංහ ගෙවන දිනය දක්වා වූ කොටස් හිමියන්ගේ ලේඛනය සකස්කර අදාළ සමාගම වෙත ලබාදෙන්නේ මධ්‍යම තැන්පතු ක්‍රමයයි.
කොටස් ගනුදෙනුවක් සිදුවූ සැණින් විස්තර ලබාගත හැකිද?
කොටස් ගනුදෙනුවක් සිදුවූ බව තහවුරු කර ගැනීමට ආයෝජකයාට ක්ෂණිකව කළ හැකි දෙයක් වන්නේ තම කොටස් තැරැව්කාර ආයතනය සමග සම්බන්ධ වී විස්තර ලබා ගැනීමයි. එවිට ගනුදෙනුව පිළිබඳ පමණක් නොව තම ගිණුමේ සියලු විස්තර තම ආයෝජන උපදේශකයාගෙන් අසා දැනගත හැකිය.
මීට අමතරව ගනුදෙනුවක් සිදු වූවා නම් ආයෝජකයාට තමන් සිදුකළ ගනුදෙනුවට අදාළ ගැණුම් හෝ විකුණුම් සටහනක් ගනුදෙනුව සිදුකළ දිනට පසු දින ලැබීමට සලස්වයි. එමගින් තමන් සිදුකළ ගනුදෙනුව හා සම්බන්ධ සියලු විස්තර දැනගත හැකිවේ. කොපමණ කොටස් මිලදී ගත්තාද, විකිණුවාද, ඒ කුමන මිලකටද, සමාගම හෝ සමාගම් මොනවාද යන්න සහ අදාළ ගනුදෙනු පිරිවැය ආදිය එහි සටහන් වේ. එහි වැරැද්දක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව ආයෝජකයාට දැනුවත් වීමට සහ පියවරක් ගැනීමට මෙය උපකාරී වනු ඇත.
ආයෝජකයෙකුට තමන් සිදුකළ ගනුදෙනුව පිළිබඳව විස්තර දැනගැනීමට හැකි අවස්ථාවක් වන්නේ CDS වාර්තාව මගිනි. යම් ආයෝජකයෙකු මාසයකට එක් ගනුදෙනුවක් හෝ සිදුකරනු ලැබ ඇත්නම් ඔහුට හෝ ඇයට සෑම මාසයක් අවසානයේම මෙම වාර්තාව ලැබීමට සලස්වයි. එසේ නොමැති නම් මාස 3කට වරක් ගනුදෙනුවක් සිදුකර ඇත්නම් ත්‍රෛයිමාසික ප්රකාශනයක් ලබාදෙයි. කෙසේ වෙතත් යම් ආයෝජකයෙකුට සෑම වසරකටම වරක් සී.ඩී.එස් මගින් වාර්ෂික ප්රකාශනයක් ලබාදීමට කටයුතු කරනු ඇත.
ගනුදෙනුවල වැරදීමක් සිදුවී ඇත්නම් කුමක් කළ හැකිද?
කොටස් ගනුදෙනුවකට අදාළ යම් වැරදීමක් සිදුවී ඇත්නම් ඉහත සඳහන් ප්රකාශනයන් මගින් ඒ පිළිබඳව ආයෝජකයාට දැනුවත් වීමට අවස්ථාව ඇත. එය නිවැරදි කරගැනීමට අදාළ කොටස් තැරැව්කාර ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට හෝ එහි අනුකූලතා නිලධාරීවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කළ යුතු වේ. බොහෝදුරට ගනුදෙනු හා සම්බන්ධ ගැටලු එම මුල් අවස්ථාවේදීම විසඳා ගැනීමට හැකි වන අතර, එසේ නොවන අවස්ථාවල කොළඹ කොටස් හුවමාරුවටත්, ඉන් එහා ගිය ගැටලු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවටත් ඉදිරිපත් කිරීමට ආයෝජකයන්ට අවස්ථාව ලබාදී තිබේ.
මෙහි තවත් කොටසක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න...