මධ්‍යම තැන්පතු ක්‍රමය පිළිබඳව ඔබ හරියටම දැනුවත්ද?
කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කරන්නෙකු තම කොටස් ගිණුම පිළිබඳව නිසි අවබෝධයක් තිබීම ඉතා වැදගත් වේ. එහිදී, ගිණුමක් ආරම්භ කිරීමේ සිට එහි අවසානය දක්වා ආයෝජකයකු වශයෙන් ඔබ දැන සිටිය යුතු කරුණු රැසක් පෙන්වා දිය හැකිය. එභෙත් යථා තත්ත්වය නම් බොහෝ ආයෝජකයන් තම කොටස් ගිණුම හා සම්බන්ධ තොරතුරුවලින් දැන සිටින්නේ ඉතා අල්ප ප්‍රමාණයක් වීමයි. එබැවින් මෙවර ලිපියෙහි අරමුණ වන්නේ නවක ආයෝජකයන්ට සහ දැනට ආයෝජනයෙහි නිරතව සිටින්නන්ට කොටස් ගිණුම හා සම්බන්ධ කරුණු පිළිබඳව යම් අවබෝධයක් ලබාදීමයි.
සී.ඩී.එස් (CDS) යනුවෙන් කෙටියෙන් හඳුන්වනු ලබන්නේ සීමා සහිත මධ්‍යම තැන්පතු ක්‍රම පෞද්ගලික සමාගමයි (Central Depository System). එය කොළඹ කොටස් හුවමාරුවෙහි උප සමාගමකි. එහි අධ්යක්ෂ මණ්ඩලයද කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්යක්ෂ මණ්ඩලයම වේ. එය කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි කොටස් වෙළෙඳ පොළ පරිශ්‍රය තුළම පවත්වාගෙන යනු ලබයි.
කොටස් වෙළෙඳ පොළෙහි ගනුදෙනු කරන ආයෝජකයන් ප්‍රධාන වශයෙන්ම දැනුම්වත්ව සිටිය යුතු ආයතනයක් වශයෙන් මධ්‍යම තැන්පතු ක්‍රමය හෙවත් බොහෝ දෙනා හඳුන්වනු ලබන CDS ආයතනය පෙන්වා දිය හැකිය. කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් හි කොටස් නැවත ආයෝජකයන් ගනුදෙනු කරන තෙක් පවත්වාගෙන යනු ලබන්නේ මෙම මධ්‍යම තැන්පතු ක්‍රමය තුළයි. තවද සමස්තයක් ලෙස කොටස් ගනුදෙනුවල බේරුම් කිරීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ කටයුතු සිදුකරනු ලබන්නේද මධ්‍යම තැන්පතු ක්‍රමය විසිනි.
සී.ඩී.එස් ගිණුමක් සහ බැංකු ගිණුමක් අතර වෙනස
බැංකු ගිණුමක් යනු කුමක්ද යන්න පාසල් සිසුවාගේ සිට ඕනෑම වැඩිහිටියෙකු ඉතා හොඳින් දැන සිටින කාරණාවකි. එය ඕනෑම බැංකුවක් හරහා ආරම්භ කරගත හැකි අතර, බොහෝ අවස්ථාවල ගිණුම ආරම්භ කරන විටදීම යම් මුදලක් එහි තැන්පත් කිරීමද කළ යුතුවේ. ඉන් අනතුරුව තමන් අත ඇති මුදල් අවශ්‍ය නම් එහි තැන්පත් කිරීමත්, නැවත ඕනෑම අවස්ථාවක ලබාගැනීමත් කළ හැකිය. මුදල් තැන්පත් කර ඇති කාලසීමාව තුළදී බැංකුව විසින් යම්කිසි පොළියක්ද ඒ සඳහා ලබාදෙන බව සැවොම දන්නා කරුණකි.
එහෙත් බොහෝ ආයෝජකයන් කොටස් ගිණුමක ස්වභාවය කුමක්ද යන්න හරි හැටි අවබෝධ කරගෙන නොමැති බව ආයෝජකයන් සමග සිදුකරන කතාබහේදී බොහෝ අවස්ථාවල මතුවන කාරණාවකි. කොටස් ගිණුම, සුරැකුම්පත් ගිනුම, සී.ඩී.එස් ගිණුම යන නම්වලින් හඳුන්වන එය නොමිලේ ආරම්භ කර ගත හැකි බව දන්නේද ඉතා ස්වල්ප පිරිසක් පමණි. බැංකු ගිණුමක මුදල් තැන්පත් කරන්නාක් මෙන් කොටස් ගිණුමක තැන්පත් කරනුයේ ලැයිස්තුගත සමාගම්වල කොටස්ය. එම කොටස් අවශ්‍ය ඕනෑ තරම් කාලයක් ගිණුමෙහි රඳවා තැබිය හැකි අතර, එසේ රඳවා තබන කාලසීමාව දක්වා අදාළ සමාගම් යම් කිසි ප්රතිලාභ ගෙවීමක් සිදු කරන්නේ නම් එම කොටස් හිමියාට ඊට අදාළ ප්රතිලාභයන්ද ලැබීමට හැකියාව ඇත.
කොටස් ගනුදෙනු කිරීමට මධ්‍යම තැන්පතු ක්රමයේ ගිණුමක් විවෘත කිරීම අවශ්‍යමද?
සමහර ආයෝජකයන්ට නිරන්තරයෙන් පැන නඟින ගැටලුවක් වන්නේ මෙසේ ගිණුමක් විවෘත කිරීම අවශ්‍යයෙන්ම කළ යුතුද යන්නයි. කොටස් ගනුදෙනුවලදී එය අනිවාර්ය කාර්යයකි. ප්‍රථමයෙන් සිදුකළ යුතු වන්නේ තමන්ට කැමති කොටස් තැරැව්කාර ආයතනයක් වෙත ගොස් සී.ඩී.එස් ගිණුමක් ආරම්භ කිරීමයි. මෙම ගිණුම ආරම්භ කිරීමෙන් අනතුරුව කොටස් මිලදී ගැනීම, මෙන්ම විකිණීමෙහි නිරත විය හැකිය. මෙහි විශේෂත්වයක් වන්නේ ගිණුම ආරම්භ කිරීම සඳහා කිසිදු මුදලක් මුලින් තැන්පත් කිරීමක් අවශ්‍ය නොවීමය. එනම්, එය නොමිලේ ආරම්භ කරන ගිණුමක් වීමයි.
සී.ඩී.එස් ගිණුමක් ආරම්භ කරන්නේ කෙසේද?
යම් අයෙකුට කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කිරීමට කැමැත්තක් ඇත්නම් ඔහු හෝ ඇය ප්‍රථමයෙන් කොටස් තැරැව්කාර ආයතනයක් තෝරාගත යුතුය. දැනට කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කොටස් තැරැව්කාර ආයතන 35ක් සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් බලපත්‍ර ලබාදී තිබේ. ආයෝජකයන් වෙනුවෙන් කොටස් මිලදී ගැනීම, විකිණීම, ආයෝජන උපදෙස් ලබාදීම ඇතුළු සේවා රැසක් තම ගනුදෙනුකරුවන් වෙත ලබාදීම මෙම සමාගම්වලට පැවරී ඇති ප්‍රධාන කාර්යභාරය වේ.
ඔබට කැමති කොටස් තැරැව්කාර ආයතනයක් වෙතින්
මෙම කොටස් තැරැව්කාර සමාගම් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිත වී ඇති අතර මාතර, මහනුවර, කුරුණෑගල, මීගමුව, යාපනය, අනුරාධුපර, රත්නපුර හා හම්බන්තොට යන කොළඹ කොටස් හුවමාරුවේ ශාඛා තුළද තම ශාඛා පවත්වාගෙන යනු ලබයි. මීට අමතරව යම් යම් තැරැව්කාර ආයතන දිවයිනේ තෝරාගත් නගරයන්හීද ශාඛා කාර්යාල ආරම්භ කර ඇති අතර, අවශ්‍ය නම් එම ආයතන හරහාද සී.ඩී.එස් ගිණුමක් ආරම්භ කර ගත හැකිය. මෙම ගිණුම ආරම්භ කරගැනීම සඳහා යම් පුද්ගලයෙකු වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම අවශ්‍ය වේ. සී.ඩී.එස් ගිණුම ආරම්භ කිරීම සඳහා තම ජාතික හැඳුනුම්පතෙහි ඡාය පිටපතක්ද ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. එසේ නොමැති අවස්ථාවල වලංගු විදේශ ගමන් බලපත්‍රයක් හෝ වලංගු රියදුරු බලපත්‍රයක් වුවද ඉදිරිපත් කළ හැකිය.
කොටස් ගිණුම් වර්ග කිහිපයක් ආරම්භ කළ හැකි බව ඔබ දන්නවාද?
මෙම කොටස් ගිණුම ආරම්භ කිරීම සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදුනොකරන බව අප කලින් පැවසුවෙමු. එමෙන්ම මෙම ගිණුමෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ එක් පුද්ගලයෙකුට ගිණුම් කිහිපයක් වුවද පවත්වා ගෙන යාහැකි වීමයි. එසේම ගිණුම් වර්ගද කිහිපයක් හඳුනාගත හැකි වේ. කොටස් ගිණුම ප්‍රධාන වර්ග දෙකකි. එනම්, දේශීය ගිණුම් හා විදේශීය ගිණුම් ය. එමෙන්ම මෙම ගිණුම් දේශීය තනි පුද්ගල හා දේශීය ආයතනික ගිණුම් සහ විදේශීය තනි පුද්ගල හා විදේශීය ආයතනික ගිණුම් වශයෙන්ද නැවත වර්ග කළ හැකිවේ. දැනට කොළඹ කොටස් හුවමාරුවේ ඇති මෙම ගිණුම්වලින් වැඩිපුරම දක්නට ලැබෙන්නේ දේශීය තනි පුද්ගල ගිණුම් ය. මෙම ගිණුම්වල තවත් විශේෂත්වයක් වන්නේ ගනුදෙනු කළත්, නොකළත් ගිණුම් ආහෝසි වීමක් නොමැති වීමයි. 2015 වර්ෂය අවසාන වනවිට මෙසේ ආරම්භ කරනලද ගිණුම් 790,000ක් පමණ වන බව කොළඹ කොටස් හුවමාරුවේ දත්තවලට අනුව පෙනේ.
කොටස් සහතිකපත් හෝ කඩදාසි භාවිතයක් දැන් දක්නට නොමැති බව ඔබ දන්නවාද?
සමහර ආයෝජකයන්ට තවමත් පවතින ගැටලුවක් වන්නේ තම ගිණුමෙහි ඇති කොටස් කුමන ස්වභාවයෙන් පවත්වානෙ යන්නේද යන්න දැන ගැනීමයි. දැනට සී.ඩී.එස් හි ආරම්භ කර ඇති සියලුම සුරැකුම්පත් ගිණුම් ඉලෙක්ට්‍රොනික් (විද්‍යුත්) ආකාරයෙන් පරිගණකවල පවත්වාගෙන යයි. මීට පෙර පැවති කොටස් සහතිකපත් භාවිතයද මධ්‍යම තැන්පතු ක්‍රමය හඳුන්වාදීමත් සමග අහෝසි විය. එය ආයෝජකයන්ට විශාල පහසුවක් වන අතර, කොටස් සහතික අස්ථානගතවීම, දිරාපත්වීම, දුර්වර්ණවීම වැනි විවිධ ගැටලුකාරී තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීමටද හේතුවක් වේ.
ඔබගේ සමාගමේ ලේකම්වරයා ගැන දැනගැනීමට අවශ්‍ය නම්
ලැයිස්තුගත සමාගමක ලේකම්වරයා කවුරුන්ද යන්න දැනගැනීමට සමහර විට ඔබට අවශ්‍ය විය හැකිය. එනම්, යම් කාලයක් ඔබ කොටස් වෙළෙඳ පොළෙන් ඈත් වී සිටියේ නම් ඔබගේ කොටස්වලට අදාළ සමාගම් පිළිබඳව ඔබට අමතකව ගොස් තිබිය හැකිය. එවැනි විටෙක සමාගමෙන් ලැබෙන ප්රතිලාභ හෝ වෙනත් කරුණු හා සම්බන්ධ ලිපි ලේඛන ගැන විමසීමට අවශ්‍ය වන්නේ නම් ඔබගේ කොටස්වලට අදාළ සමාගමෙන් ඒ පිළිබඳව විමසීමක් කරන්නට අවශ්‍ය විය හැකිය. ඒ සඳහා ඇති පහසුම ක්‍රමය සී.ඩී.එස් වෙබ් අඩවියට පිවිසීමයි. එමගින් සමාගම් ලේකම්වරුන් ලෙස ක්‍රියාත්මක වන ආයතන, එම ආයතනවල ලිපිනයන් සහ සමාගම නිකුත්කර ඇති කොටස් වර්ගයේ සංකේත අංකය ඇතුළු තොරතුරු රැසක් එහි අන්තර්ගත කර ඇත. කොටස් ආයෝජකයෙකුට තම කොටස් සහතිකය අස්ථානගත වීමක් වුවහොත්, ලාභාංශ නොලැබීමක් සම්බන්ධයෙන් හෝ සමාගමේ වෙනත් ලිපි ලේඛන නොලැබීමක් වේ නම් ඒ පිළිබඳව සොයා බැලීමට සමාගම් ලේකම් සමග සම්බන්ධ වී අවශ්‍ය විස්තර ලබාගත හැකිය.
මධ්‍යම තැන්පතු ක්‍රමය සම්බන්ධ කරගත හැකි ක්‍රම
මධ්‍යම තැන්පතු ක්‍රමයෙන් යමෙකුට විස්තර අවශ්‍ය වශ්‍ය වන්නේ නම් ඒ සඳහා සී.ඩී.එස් වෙබ් අඩවියෙහි සඳහන් සම්බන්ධ කරගත හැකි ක්‍රමවලින් එකක් හෝ කිහිපයක් තෝරාගත හැකිය. එහි සාමාන්‍ය තොරතුරු ලබාගැනීම [email protected] යන වෙබ් පිටුවෙන් ලබාගත හැකිය. සමාගම් රෙජිස්ට්‍රාර්වරුන් හෝ ලේකම්වරුන් ගැන දැනගැනීමට [email protected] මගින් පහසුකම් සලසා දී තිබේ. එමෙන්ම මධ්‍යම තැන්පතු ක්‍රමය වෙත කරන පැමිණිලි සහ යෝජනා පහත සඳහන් ලිපිනය වෙත යොමු කළ හැකිය.
සීමාසහිත මධ්‍යම තැන්පතු ක්‍රම පෞද්ගලික සමාගම,
4 වන මට්ටම, බටහිර කොටස, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය,
එචිලොන් චතුරශ්‍රය, කොළඹ 01.
දුරකථන - 011-2356456
ෆැක්ස් - 011-2440396
මෙහි තවත් කොටසක් ඉදිරියේදී...