ශ්‍රී ලංකාව හා බෙලරුස් ජනරජය අතර වෙළෙඳ කටයුතු නංවාලීමේ අරමුණ ඇතිව පිහිටුවා ගනු ලැබූ වෙළෙඳ හා ආර්ථික ඒකාබද්ධ කොමිසමේ ප්‍රථම සැසිවාරය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අද (9දා) ආරම්භ විය.
බෙලරුස් ජනරජයේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය වැලන්ටීන් බී. රිබෙකව් හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම ඒකාබද්ධ කොමිසමේ ප්‍රථම සැසිවාරයේදී දෙරට අතර වෙළෙඳ කටයුතුවලදී පැන නගින ගැටලු හා නව වෙළෙඳ හා ආයෝජන අවස්ථාවන් පිළිබඳව පුළුල් ලෙස අවධානයට ලක් කිරීමට බලාපොරොත්තු වේ.
දෙදිනක් පුරා පැවැත්වෙන මෙම ඒකාබද්ධ කොමිසමේදී ආනයන හා අපනයන බදු සහන ලබා ගැනීම, දෙරටේ පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශන, අපනයන ප්‍රවර්ධන වැඩසටහන්, ඒකාබද්ධ ආයෝජන අවස්ථාවන්, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකාර්මික, ධීවර, විද්‍යා හා තාක්ෂණික, සංචාරක, සෞඛ්‍ය යන ක්ෂේත්රයන්හී සහයෝගීතාවයන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බෙලරුස් තානාපති, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන, අතිරේක ලේකම්(වාණිජ) ශීතා සේනාරත්න, වාණිජ දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් කුමාරරත්න, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති බන්ධුල එගොඩගේ යන මහත්ම මහත්මීන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් රජයේ ඉහළ නිලධාරීහු රැසක් සහභාගී වූහ.