ශ්‍රී ලංකාවේ පාවහන් නිෂ්පාදන අපනයනකරුවන් සඳහා 'ප්රවණතා, අලෙවිකරණය සහ විලාසිතා' පිළිබඳ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කර තිබේ. 2017 ඔක්තෝබර් මස 02 වැනි දින එම මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වූ මෙම සම්මන්ත්‍රණය, යුරෝපීය වෙළෙඳ පොළෙහි පවතින ප්රවණතා පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම මගින් දේශීය පාවහන් නිෂ්පාදන කර්මාන්තය සඳහා උපරිම ප්රතිලාභ ලබාගැනීම අරමුණු කරමින් පැවැත් වූ බව එම මණ්ඩලය පවසයි.
පාවහන් හා සම්භාණ්ඩ සම්බන්ධ විශේෂඥ ක්‍රිස්ටෝප් කුමීන් මහතා මෙම සම්මන්ත්‍රණය සඳහා සම්පත් දායකත්වය ලබාදී ඇති අතර, සම්මන්ත්‍රණය මගින් විලාසිතා යනු කුමක්ද, විලාසිතා ප්‍රවණතාව වටහා ගන්නේ කෙසේද, විලාසිතා සඳහා අනුගමනය කළ යුතු සමාජ ප්රවණතා කෙබඳුද, විලාසිතා කෙරෙහි ඇති අනාගත ප්රවණතා කෙබඳුද, විලාසිතා අලෙවිකරණය යනු කුමක්ද යන්න පිළිබඳ ආවරණය කර තිබේ.
විශේෂයෙන්ම යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි ජාත්‍යන්තර වෙළෙඳ පොළ ඉලක්ක කරමින් පාවහන් තාක්ෂණය පිළිබඳ සවිබල ගැන්වීම වෙනුවෙන් අපනයන වෙළෙඳ පොළේ පාවහන් නිෂ්පාදකයන්/අපනයනකරුවන් තෝරාගැනීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය නිෂ්පාදන සංවර්ධන වැඩසටහනක් දැනටමත් ආරම්භ කර ඇති අතර, එම වැඩසටහන යටතේ මෙම සම්මත්‍රණය සංවිධානය කර තිබේ. මේ පිළිබඳ වැඩි විස්තර අපනයන සංවර්ධන මණ්ඩලයේ http://www.srilankabusiness.com වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.