ප්රමුඛ බැංකුව 2002 දී වසා දැමීම හේතුවෙන් වසර ගණනාවක් පුරා දුක් මහන්සියෙන් උපයාගත් ධනය අහිමි වූ 8,200කට අධික තැන්පත්කරුවන්ට එම මුදල් යළි ලබාදීමේ සමාරම්භක උලෙළ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18දා) පැවැත්විණි.
මෙම අවස්ථාවට ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති අධි නීතීඥ අසෝක සෝමරත්න මහතා, ක්‍රියාකාරී අධ්යක්ෂ කේ.අමරසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයද සහභාගී වූහ.
මෙම අවස්තාවට පැමිණි සිටි තැන්පත්කරුවන් ඇමතූ අමාත්‍යවරයා, "ජනවාරි මාස 8 වැනිදා ඔබ නව ජනාධිපතිවරයෙක්, ආණ්ඩුවක් පත්කර ගත්තා. ඉතින් ඒ ආණ්ඩුවේ සාමාජිකයන් විදියට අපේ වගකීම වන්නේ ඔබට සේවය කිරීම මිස අපට සේවය කර ගැනීමට නෙවෙයි. ඒ වෙනස දැන් ඔබට පෙනෙන්නට තියෙනවා. 8,200කට අධික ප්රමුඛ බැංකුවේ තැන්පත්කරුවන්ට අද තමන්ගේ තැන්පත් ලැබෙනවා. ඒ වගේම ගෝල්ඩන් කී තැන්පත්කරුන්ද තමන්ගේ තැන්පතු ලබාගැනීම සම්බන්ධව මේ වනවිට කිසියම් එකඟත්වයකට පැමිණ සිටිනවා.
මහ බැංකුව මෙවැනි මූල්‍ය ආයතන අධීක්ෂණය කළ යුතුයි. එම අධීක්ෂණය නිසි පරිදි නොවීමේ ඵලවිපාක තමයි ඔබ මේ භක්ති විඳින්නේ. ඒ නිසා කිසියම් මූල්‍ය ආයතනයක් ආරම්භ කිරීමට සහතියක් ලබාදෙනවා නම් එහි ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියා අප මහ බැංකුවට නියෝග කර තියෙනවා.
අපට භාර ගන්න වුණේ වැටුණු ආර්ථිකයක්. රටේ සමස්ත අදායම රු.මිලියන් 1,480ක් වනවිට වාර්ෂිකව ගෙවන්න තියෙන ණය සහ පොලී වාරිකයක රු.මිලියන 1,388ක් වී තියෙනවා. 2005 දී රු.බිලියන 1,784ක්ව තිබූ ණයබරතාව, අද රු.බිලියන 8,999ට වැඩි වෙලා තියෙනවා. ඒ තරම් මුදල් ගෙවන්න අපේ ආදායම් වැඩි වෙලා නැහැ.
පෞද්ගලිකකරණය යන වචනය තහනම් වචනය බවට අප පත්කරලයි තියෙන්නෙ. පෞද්ගලිකකරණ කිරීම වෙනුවට රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයේ මට්ටමට කළමනාකරණය කිරීම තමයි අපේ අරමුණ. අද ඔබට ලැබෙන මේ මුදල් රටේ ආර්ථිකයට යහපත් කටයුත්තක් වෙනුවෙන් වැය කරන්න. මම බැංකුවේ නිලධාරීන්ට කියන්නෙ මේ ජනතාවට උදවුවක් කරන්න. යහපත් ව්‍යාපෘතියක් ආරම්භ කරන්න මුදලක් ඉල්ලූවොත් ඔවුන් කෙරෙහි වැඩි ප්‍රමුඛත්වය දී කටයුතු කරන්න. මට අවශ්‍ය වන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් දිරිමත් කිරීම නෙවෙයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කිරීමයි. අපි මේ බැංකුව හැදුවේ ඒ සඳහායි." යනුවෙන් පවසා සිටියේය.