රටේ ආර්ථික සංවර්ධනය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් හා ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ හා සේවා සැපයීම අත්‍යවශ්‍ය බවත්, රටේ ඇති කර්මාන්ත තුළින් ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයීමෙන් කර්මාන්තකරුවන්ට රට තුළ පමණක් නොව රටින් පිටතදී පවා වෙනත් රටවල භාණ්ඩ හා සේවා සමග තරග කිරීමෙන් ලෝක වෙළෙඳ පොළ ජයගැනීමට හැකි වන බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය එල්. එන්. සේනවීර මහතා පවසා සිටියේය.
අධ්යක්ෂ ජෙනරාල්වරයා මෙසේ සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පවත්වනු ලබන තත්ත්ව හා ප්රමිතිකරණය පිළිබඳ දැනුවත් කිරීමේ සංදර්ශන රිය පෙරහර පිළිබඳ දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේදී 01 වැනිදා පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සේනවීර මහතා, "ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ජාතික ප්‍රමිති ආයතනය වශයෙන් ශ්‍රී ලංකා ප්රමිතීන් 2,000කට වැඩි සංඛ්‍යාවක් විවිධ ක්ෂේත්‍ර සඳහා සකස් කර ඉදිරිපත් කොට තිබෙනවා. මේ ප්රමිතීන් කර්මාන්ත ක්ෂේත්‍ර තුළ හා සේවා අංශ තුළ භාවිතයට යොමු කිරීමෙන් ඒ කර්මාන්තවල ඇති අනවශ්‍ය වියදම් අඩු කරගෙන ගුණාත්මකභාවයෙන් යුතු භාණ්ඩ හා සේවා සකස් කර ඒවා පාරිභෝගිකයාට ලබාදීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අරමුණු කරනවා.
තත්ත්වය හා ප්රමිතිකරණය අපේ රට තුළ වර්ධනය කළ යුතුයි. ඒ සඳහා ක්‍රම දෙකක් පවතිනවා. ඉන් එකක් වන්නේ කර්මාන්ත හා සේවා අංශයේ සිටින සියලු දෙනාම ගුණාත්මකභාවයේ වැදගත්කම හඳුනාගෙන ඒ සම්බන්ධව කටයුතු කිරීමයි. අනෙක් ක්‍රමවේදය වන්නේ වෙළෙඳ පොළ තුළ තිබෙන භාණ්ඩ ගුණාත්මකභාවයෙන් යුතු භාණ්ඩ පමණක් ලෙස හඳුනාගෙන එවැනි භාණ්ඩවලින් වෙළෙඳ පොළ අනුගත කිරීමයි. වෙළෙඳ පොළ ගුණාත්මකභාවයෙන් ඉහළ භාණ්ඩවලින් අනුගත කිරීමට නම් පාරිභොගිකයන් සෑමවිටම භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවය පිළිබඳව සොය බැලිය යුතුයි. ගුණාත්මකභාවයෙන් යුතු භාණ්ඩ සඳහා පමණක් පාරිභෝගික ඉල්ලුම ඇතිවිය යුතුයි. එවිට ගුණාත්මකභාවයෙන් තොර භාණ්ඩ නිපදවන සමාගම්වලට කර්මාන්තය පවත්වාගෙන යෑමට නොහැකි වීමෙන් මුළු රටේම කර්මාන්ත ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය සඳහා නැඹුරු වෙනවා" යැයි සඳහන් කර සිටියේය.
මෙම ක්‍රමවේදය රට තුළ ගොඩනැගීමට මෙන්ම ප්‍රචලිත කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කටයුතු කරන අතර, ඒ සඳහා විවිධ ක්ෂේත්රවල සිටින්නන් හා මහජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇති බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි. එමෙන්ම, නොවැම්බර් මාසයට යෙදුණු ලෝක තත්ත්ව මාසයට සමගාමීව දෙසැම්බර් 05 වැනි දින තත්ත්ව හා ප්රමිතිකරණය පිළිබඳ දැනුවත් කිරීමේ සංදර්ශන රිය පෙරහරක් පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ගුණාත්මකතාවයේ ඇති වැදගත්කම, කර්මාන්ත හා සේවා ආයතනයකට තත්ත්වය හා ප්‍රමිතිය වැදගත් වන ආකාරය, පාරිභෝගිකයාට වැදගත් වන ආකාරය, ගුණාත්මක තත්ත්වයෙන් හා ප්‍රමිතියෙන් යුතු සේවා මොනවාද යන්නත්, ඒ සඳහා අවශ්‍ය දැනුම ප්‍රමිති ආයතනයෙන් ලබාගන්නේ කෙසේද යන්නත් මෙම රථ පෙරහර තුළින් දැනුවත් කෙරෙන බව ඔවුන් පවසයි. මේ සඳහා සංදර්ශනාත්මක රථ රැසක් යොදාගැනෙන අතර ඒ සෑම රථයකටම සහභාගී වන ආයතන ගුණාත්මකභාවය හා ප්‍රමිතිය තුළින් ජයග්‍රහණ ලබාගත් ආයතන වීම ඉතා වැදගත් බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.
තත්ත්ව හා ප්රමිතිකරණය පිළිබඳ දැනුවත් කිරීමේ සංදර්ශන රිය පෙරහර 2015 දෙසැම්බර් 05 වැනි සෙනසුරාදා පෙ.ව. 9.00 ට මොරටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ වී නෙළුම් පොකුණ වටරවුම කරා ගමන් කොට අවසන් කිරීමට නියමිතය.