වැට් හෙවත් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත මගින් වැට් බදු ක්‍රමය සරල වන අතර, එහි විනිවිදභාවයක් ඇති කරමින් මෙතෙක් එම බදු ක්රමයේ පැවති සැඟවුණු අයකිරීම් සියල්ල ඉවත්කර ඇතැයි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
බදු මුලධර්මවලට එකඟව සාධාරණාත්මක (Equitable Taxation) බදු ක්‍රමයක් හඳුන්වා දෙන නව වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (26දා) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය
මෙම පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීමෙන් අනතුරුව ඊට පක්ෂව ඡන්ද 76 ක්ද, විපක්ෂව ඡන්ද 23ක්ද ලැබී තිබූ අතර, ඒ අනුව මෙතෙක් 11% ක් වූ වැට් බද්ද ඊයේ (26දා) මධ්‍යම රාත්‍රියේ සිට 15% දක්වා වැඩිවෙයි. මෙම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේදී පක්ෂව ඡන්ද 112ක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද 46ක් ලැබී තිබුණි.
ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය යටතට එකතු කළ අගය මත බදු නොහොත් VAT බද්ද 2002 වසරේදී 10% ක ප්‍රතිශතයක් වශයෙන් හඳුන්වා දෙනු ලැබුවේ භාණ්ඩ හා සේවා සඳහා පමණි. 2006 වසර වනවිට ක්‍රමයෙන් එය 20% ක ප්‍රතිශතය දක්වා වැඩි කරනලද අතර පසුගිය රජය විසින් 2013 වසරේදී ප්‍රථම වතාවට තොග හා සිල්ලර වෙළෙඳාමද 10% ක වැට් ප්‍රතිශතයට යටත් කරනු ලැබූ බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.
2014 වසර වනවිට දෛනිකව රු.ලක්ෂ 14ක පිරිවැටුපක් තිබෙන වෙළෙඳ සැල් හිමියන්ගෙන් 12%ක වැට් අය කිරීමට අමතරව එහි තුළ එයට අමතරව සැඟවුණු අය කිරීම් අන්තර්ගත වී තිබුණු බව මුදල් අමාත්‍යාංශය කියයි. එය යටතේ ශ්‍රී ලංකාවේ විසිරී සිටින වැට් නොගෙවන සුළු නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන මිලදී ගෙන අලෙවිකරන්නන් එම භාණ්ඩ සඳහාද රජයට වැට් ගෙවීමට සිදුව තිබූ බව පැවසෙයි වැට් බදු පනත අනුව වැට් අදාළ වන භාණ්ඩ වනුයේ සුවඳවිලවුන්, බිස්කට්, සබන් සහ සකස් කරනලද ආහාර වැනි භාණ්ඩ කිහිපයක් සඳහා පමණි. එහෙත් එදා පැවති බදු අය කිරීමේ ක්‍රමය අනුව වැට් අදාළ භාණ්ඩ අලෙවියෙන් ලැබෙන ආදායමට පමණක් නොව සමස්ත පිරිවැටුපෙන් 25%ක මුදලකට දෙනු ලබන සහන හැර අන් ඉතිරි සමස්ත පිරිවැටුමට වැට් ගෙවිය යුතුව තිබුණු බවද පෙන්වා දෙයි.
මෙය සාධාරණාත්මක බදුකරණයට පටහැනි බවත්, එකම වර්ගයේ භාණ්ඩ අලෙවිකරණ ව්‍යාපාරිකයන් අතර එක් කොට්ඨාසයක් මත පමණක් බදු පැටවීම හා සැඟවුණු ගෙවීම්ද ඇතුළත් හෙයින් පැවති බදු ක්‍රමය බදුකරණයේ විනිවිදභාවයක් නොපෙනෙන බදු මුලධර්මවලට පටහැනි එකක් බවත් පෙන්වා දෙයි. එබැවින් රජය මෙම නව වැට් බදු පනත වෙළෙඳ සමාජය තුළ සාධාරණව බෙදී යන අයුරින් බදු සීමාව රු.138,000ක් දක්වා අඩු කර බදු ප්‍රතිශතය දැනට ක්‍රියාත්මක 11% සිට 15%දක්වා වැඩි කළද ව්‍යාපාරිකයන් විසින් සැබෑ ලෙස ගෙවිය යුතු මුදලේ ප්‍රමාණය පෙර පැවති ක්‍රමයට වඩා බෙහෙවින් අඩුවීම මෙහි විශේෂත්වයක් බවත් පෙන්වා දෙයි.
යුද්ධයෙන් පසුව ආර්ථිකයේ ප්රතිලාභ ජනතාවට ලබාදෙන බවට පොරොන්දු වී සිටි එකල රජය ජනතාවට සහන දෙනවා වෙනුවට අත්‍යවශ්‍ය භාණ්ඩවලට ද වැට් බදු හඳුන්වා දෙමින් ජනතාව මත එකල වැඩි බරක් පැටවූ බවද සඳහන් කරයි. ඉන්පසු රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන අයුරින් වාණිජ පොළි පදනම මත ලබාගත් විශාල ණය උගුලකට රට ඇද දැමූ බවත්, මුල් අවස්තාවේදී 10% ක්ව පැවති වැට් බද්ද 20% දක්වා වැඩි කළ අවස්ථාවේදී නිහඬව සිටි එකල රජයේ ඇතැම් අමාත්‍යවරුන් මෙම නව වැට් බදු සංශෝධනය බදු මූලධර්මයන්ට පටහැනි යැයි කීම හාස්‍යජනක යැයි කියමින් මුදල් අමාත්‍යවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.