දකුණු ආසියානු ව්‍යාපාර වස්තු හුවමාරු සංගමය හා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව එක්ව සංවිධානය කරනු ලැබූ දකුණු ආසියානු ආයෝජන සමුළුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27 වැනිදා අති උත්කර්ෂවත් අන්දමින් කොළඹදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න, කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ හා දකුණු ආසියානු ව්‍යාපාර වස්තු හුවමාරු සංගමයේ අභිනව සභාපති වජිර කුලතිලක, දකුණු ආසියානු ව්‍යාපාර වස්තු හුවමාරු සංගමයේ හිටපු සභාපති ආචාර්ය අබ්දුල් මසීඩ් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය දෙස් විදෙස් අමුත්තන් රැසක් සහභාගී වූහ.
2015 අප්‍රේල් 26 වැනි දින පැවති දකුණු ආසියානු ව්‍යාපාර වස්තු හුවමාරු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි සභාපති වජිර කුලතිලක මහතා එහි සභාපති ධුරයට පත්වීමෙන් පසුව සහභාගී වූ ප්‍රථම නිල අන්තර්ජාතික සමුළුව මෙය වීමද විශේෂත්වයක් වෙයි.
දකුණු ආසියානු ව්‍යාපාර වස්තු හුවමාරු සංගමයේ සාමාජිකත්වය දරන ව්‍යාපාර වස්තු හුවමාරු 23ක ඉහළ පෙළේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර වෙළෙඳ පොළ සමූහයන් අතර තාක්ෂණය, නියාමනය හා පහසුකම් හුවමාරු කිරීම හා සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව ඉතාම ගැඹුරු හා අර්ථවත් සැසි මෙහිදී සංවිධානය වී තිබුණි. එමෙන්ම, තම කොටස් වෙළෙඳ පොළවලට අදාළ අවේනික තත්ත්වයන් පිළිබඳව ඉතා ඉහළ අවබෝධයක් ලබාගැනීමට සාමාජික රටවලට මෙහිදී අවකාශය සැලසුණි.
මෙහි සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේ, විදේශ ආයෝජනයන් සඳහා වඩාත්ම සුදුසු කාලසීමාවකදී මෙම සමුළුව මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට හැකිවීම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ වර්ධනය කිරීම සඳහා අනගි අවස්ථාවක් සපයන බවයි. තවදුරටත් ඒ මහතා කියා සිටියේ නව යහපාලන ප්‍රතිපත්ති ස්ථාපනය වීම තුළ වඩාත් නිරවද්‍ය,පාරදෘශ්‍ය හා විධිමත් වෙළෙඳ පොළ ක්රියාකාරීත්වයක් අපේක්ෂා කළ හැකි බව හා එය සමාජයේ පහළම ස්ථරය දක්වා සම්ප්‍රේෂණය වීම තමා අපේක්ෂා කරන බවයි.
නියාමන කාර්යභාරයන් පිළිබඳව හා වර්තමාන ප්‍රාග්ධන වෙළෙඳ පොළ වාතාවරණය පිළිබඳ කෙටි විග්රහයක නිරතවෙමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ නියාමකයෙකු ලෙස වර්තමාන නීතින්හී තිබෙන අඩු ලුහුඬුකම් කොමිෂන් සභාව විසින් හඳුනාගෙන තිබෙන බවයි. එමෙන්ම, ඒ පිළිබඳව ඉදිරියේදී කටයුතු කරමින් ප්‍රාග්ධන වෙළෙඳ පොළෙහි සංවර්ධනය සඳහා දියහැකි උපරිම සහාය රාජ්‍ය අංශය ලෙස ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.
දිනය පුරාම අධ්‍යාපනික හා දැනුම් හුවමාරු සැසි හා විද්වත් සාකච්ඡා රැසක් පැවැත්වුණු අතර ඒ සඳහා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජයවර්ධන යන මහත්වරුන් විසින් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව නියෝජනය කරමින් දේශන පවත්වන ලදී.