මෙය ණය ඇගයීම සහ ණය ප්‍රමාණීකරණය ලෙසද විවිධ විශ්ලේෂකයන් යම් යම් අවස්ථාවල හඳුන්වනු ලබන අතර ආයෝජනයේදී මේ පිළිබඳව දැන සිටීම ඕනෑම අයෙකුට බොහෝ සෙයින් වැදගත් වේ. ආයෝජනය යනු අනාගතයේදී යම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් වර්තමානයේදී කරනු සම්පත් කැපකිරීමකි. එහිදී ආයෝජකයෙකුගේ බලාපොරොත්තුව තමා යෙදවූ මුදලද ආරක්ෂා කරගනිමින් ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමයි.
ආයෝජනය කොටස් සහ ණයකර වශයෙන් ප්‍රධානවම කොටස් දෙකක බෙදිය හැකිය. මෙම ණයකරවල ආයෝජනයේදී විශේෂයෙන්ම ආයෝජකයෙකු අවධානය යොමු කළ යුතු පැති කිහිපයක් ඇති අතර ලැබෙන පොලි අනුපාතිකය, කල්පිරීමේ කාලය, අවදානමේ ස්වභාවය ආදිය ඉන් කිහිපයකි. ණයකරවල අවදානම් ස්වභාවයන්ද කිහිපයක් හඳුනාගත හැකි අතර, අප මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කරනුයේ ණයකරවල ඇති පැහැර හැරීමේ අවදානම (Default Risk) සම්බන්ධයෙනි. මෙම පැහැර හැරීමේ අවදානම කුමක්ද යන්න පිළිබඳව අවධානය යොමු කරන විට ණය ශ්‍රේණිගත කිරීම අපට ඉතා වැදගත්ය.
ණය ශ්‍රේණිගත කිරීම යනු කුමක්ද?
සමාගමකට ණය ආපසු ගෙවීම පිළිබඳ ඇති හැකියාව ණය ශ්‍රේණිගත කිරීම තුළින් පෙන්නුම් කරනු ලබයි. එමෙන්ම, ණය ශ්‍රේණිගත කිරීමේ විශේෂතා කිහිපයක්ද පහත සඳහන් පරිදි ඔබගේ දැනුවත්භාවය සඳහා ඉතා සරලව හඳුනාගත හැකිය.
• අදහසක්/මතයක්
ණය නිකුතුකරුවෙකුට තමන් ණයට ගෙන ඇති මුදල් පොලියත් සමග සම්පූර්ණයෙන් නියමිත කලට වේලාවට ආපසු ගෙවීමට ඇති හැකියාව පිළිබඳ මතයක් හෙවත් අදහසකි.
• අනාගතය පිළිබඳ එබී බැලීමක්
ශ්‍රේණිගත කිරීම යනු අනාගත හැකියාවන් පිළිබඳ ඇගයීමකි. ආර්ථික තත්ත්වයෙහි හා එකිනෙක කර්මාන්තවල දිගුකාලීන චක්‍රීය රටාවන් සැලකිල්ලට ගනු ලබන නිසා ණය වර්ගීකරණයක් නිතර නිතර වෙනස්වීම්වලට භාජනය නොවේ.
• සාපේක්ෂ මිනුම් දණ්ඩකි.
ශ්‍රේණිගත කර ඇති අනෙකුත් සියලුම ණයවලට සාපේක්ෂව, ණය ගෙවීමට ඇති හැකියාව (සම්භාවිතාව) පිළිබඳ මිනුම් දණ්ඩකි.
• සැසඳීමේ හැකියාව
විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර තුළ ඇති විවිධ ආයතනවල ණය වර්ගීකරණ එකිනෙක සංසන්දනය කිරීමට ඇති හැකියාව.
ඒ අනුව, ණය ශ්‍රේණිගත කිරීම යනු සමාගමක් විසින් නිකුත් කර ඇති ණයකරවල ආයෝජනය කර ඇති ආයෝජකයන්ට පොලියත් සමග නියමිත කාලය තුළදී ආපසු ගෙවීමට ඇති හැකියාව බව අපට වැටහෙයි. එහිදී සමාගමක් විසින් ලබාගන්නා ණය ශ්‍රේණිගත කිරීම තුළින් ඉහත සඳහන් අනෙකුත් ප්රයෝජනයන්ද ලබාගත හැකි බව අපට පැවසිය හැකිය. යම් ණය සුරැකුම්පතක් ඉහළ ණය ශ්‍රේණිගත කිරීමක් ලබා ඇත්නම් එයින් අදහස් වනුයේ එම ණය සුරැකුම්පතෙහි ඉතා පහළ පැහැර හැරීමේ අවදානමක් පවතින බවය. එමෙන්ම පහළ ශ්‍රේණිගත කිරීමක් සහිත නම් එකී ණය සුරැකුම්පතෙහි ණය පැහැර හැරීමේ ඉඩකඩ වැඩ බව ඉන් කියැවෙයි. මෙම ණය ශ්‍රේණිගත කිරීම් බොහෝවිට ලබාගන්නා පාර්ශ්ව වන්නේ මූල්‍ය ආයතන, සමාගම් සහ රජයයන් ය. හොඳ ණය ශ්‍රේණිගත කිරීමක් යනු දිගුකාලීන ආර්ථික චක්රයන් හා ව්‍යාපාර චක්රයන් තක්සේරුවට ලක් කරමින් අනුකූලතාවන්, බැඳියා පිළිගැටුම් (Conflict of Interest) කළමනාකරණය කරමින් සහ විශ්වාසනීයත්වයෙන් නිකුත් කරන ශ්‍රේණිගත කිරීමකි.
ණය වර්ගීකරණයන් ලබාදෙන්නේ කවුද?
ණය ශ්‍රේණිගත කිරීමක් ලබාදෙනුයේ ණය ප්රමාණීකරණ නියෝජිත ආයතනයන් හෙවත් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයි (CRAs). එම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ යටතේ ලියාපදිංචි විය යුතු අතර ලියාපදිංචි වෙළෙඳ පොළ අතරමැදි ආයතන ගණයට අයත් වේ. වර්තමානයේදී ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව යටතේ එවැනි ලියාපදිංචි ආයතන දෙකක් හඳුනා ගත හැකි අතර, ඒවා නම් ෆිච් රේටිංග්ස් ලංකා ලිමිටඩ් සහ ඉක්රා ලංකා ලිමිටඩ් (ICRA) යන ආයතන දෙකයි. ශ්‍රී ලංකාව තුළ, ඕනෑම ආයතනයක් දැනට ලැයිස්තුගත හෝ අනාගතයේදී ලැයිස්තුගත කිරීමට අපේක්ෂිත ණය සුරැකුම්පත්වල ණය ගුණත්වය සම්බන්ධයෙන් වන තක්සේරු කිරීම් හෝ ඇගයීම් සිදුකරන්නේ නම් ඒවා මෙම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන හරහා ලබාගත යුතුය. ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ණය සුරැකුම්පත් නිකුත් කරන ආයතනවල බැඳීම් පියවීමට ඇති හැකියාව පිළිබඳව විශ්වාසනීය නිරීක්ෂණයක් සිදුකරනු ලැබේ.
ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක කාර්යභාරය
ණය සුරැකුම්පත් නිකුත් කරනු ලබන ආයතනවලට එසේ නැතහොත් ණය ශ්‍රේණිගත කිරීමට ලක්වන ආයතනවලට තම සමාගමේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳව තොරතුරු ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය වේ. සමාගම විසින් නිකුත් කරනු ලබන ණය සුරැකුම්පත් සඳහා වැඩි ආයෝජක ආකර්ෂණයක් බලාපොරොත්තු වන අතර, එමනිසා ජනතාව අතර සමාගම සම්බන්ධ විශ්වසනීයත්වය ඉහළ මට්ටමකින් තබාගැනීමට ඔවුන් සෑමවිටම කි‍්‍රයාකරයි. ආයෝජකයන්ට තමන් ආයෝජනය කරන ණය සුරැකුම්පත් හා සමාගම්වල තත්ත්වය නිවැරදිව හා පැහැදිලිව ප්‍රමාදයකින් තොරව දැනගැනීමට අවශ්‍ය වේ. මේ අනුව සමාගමේ අරමුණු ඉටුකරගැනීම සඳහාත්, ආයෝජකයන්ගේ ආකර්ෂණය සමාගම වෙත තබාගැනීම සඳහාත් ගනු ලබන උත්සාහයේදී ණය සුරැකුම්පත් නිකුතු ආයතන හා ආයෝජකයන් අතර කාර්යක්ෂමව තොරතුරු හුවමාරු කිරීමේ අතරමැදියෙකු ලෙස ක්‍රියාකරමින් ණය නිකුතුකරුවන්ගේ හා ණය නිකුතුවල ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ ස්වාධීන අදහසක් ඉදිරිපත් කිරීම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක කාර්ය භාරයයි.
ආයෝජකයන් මෙම ණය ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුත්තේ ඇයි?
ආයෝජන තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ඒවා වඩාත් නිවැරදිව සිදුකිරීමට ණය ශ්‍රේණිගත කිරීම්, ඒ හා සම්බන්ධ අනෙකුත් ශ්‍රේණිගත කිරීම් සහ කර්මාන්තයට අදාළ නව ප්රවණතා පිළිබඳ වාර්තා බොහෝවිට උපකාරී වේ. එමෙන්ම ඔබගේම මූල්‍ය විශ්ලේෂණයක් සිදුකර ගැනීමට හෝ ඔබ ඔබගේ මූල්‍ය උපදේශකයා ලෙසත් කටයුතු කිරීමට විකල්ප ක්‍රමවේදයක් ලෙසත් මෙම ණය ශ්‍රේණිගත කිරීම විටෙක ක්‍රියා කරයි. එය ඔබගේ ආයෝජන කළඹ තුළ ඇති ආයෝජනයන් සංසන්දනය කිරීමටද ඒවා අතරින් වඩාත් ඵලදායී ආයෝජනය තෝරගැනීමටද හැකියාව ලැබේ.
විවිධ ණය ශ්‍රේණිගත කිරීම් ආයතන විසින් ලබාදෙන ශ්‍රේණිගත කිරීම් සලකා බැලීමේදී පෙනී යන්නේ ආයෝජනයක පවතින ණය ගුණත්වය පිළිබඳව විවිධ අදහස් එමගින් ලබාදෙන බවයි. සමාන්‍යයක් වශයෙන් ගත්විට, ඔබ ණය ශ්‍රේණිගත කිරීමක් භාවිත කරන්නේ නම්, ඒවා තුළින් ඔබගේ අවශ්‍යතා ඉහළින්ම ඉටුකරනවාද යන්න තීරණය කළ යුතුවේ. එහිදී එම ශ්‍රේණිගත කිරීම්, පරිපූරකයක් විය යුතුය. එකක් වෙනුවට තවත් එකක් නොවිය යුතුය. එය ඔබගේම සමීක්ෂණයක්, විශ්ලේෂණයක්, තීන්දුවක් විය යුතුය. මෙහිදී ඔබ මතක තබාගත යුත්තේ ණය ශ්‍රේණිගත කිරීම් තුළින් පිළිබිඹු කරන්නේ ණය අවදානම පමණි. එමගින් අනෙකුත් අවදානම් වන ද්‍රවශීලතා අවදානම, පොලී අනුපාතික අවදානම, වෙළෙඳ පොළ අවදානම හෝ නැවත ගෙවීමේ අවදානම යනාදී අවදානම් තත්ත්වයන් සැලකිල්ලට ගනු නොලබයි.
ණය ශ්‍රේණිගත කිරීම් භාවිත කරනු ලබන අවස්ථා
• වාණිජ පත් (Commercial Papers) නිකුත් කිරීමේදී,
• වරණීය කොටස් නිකුතුවේදී (Preference Shares)
• ණයකර (Debentures/Bonds) නිකුත් කිරීමේදී
• ව්‍යූහාත්මක ණය සුරැකුම්පත් නිකුත් කිරීමේදී (Securitized debt Securities)
• ස්ථාවර තැන්පත්වලදී (Fixed Deposits)
• තැන්පතු සහතික (Certificate of Deposits)
• මූල්‍ය ඇපකර නිකුත්කිරීම්වලදී (Financial Guarantees)
• උකස් මත පදනම් වූ සුරැකුම් (Collateralized Loan/Bond Obligations)
• සමාගම් (Business Entities)
• නගර සභා හා පළාත් සභා (Local Government Bodies)
• රක්ෂණ වන්දි ගෙවීමේ හැකියාව (Insurance claim paying abilities)
• රටවල් (Sovereigns)
• ව්‍යාපෘති මූල්‍යකරණය (Project Financing)
බැඳියා පිළිගැටුම් (Conflict of Interest) ඇතිවීමට පවතින ඉඩකඩ
බැඳියා පිළිගැටුම් යනු කිසියම් පාර්ශ්වයන් දෙකක් අතර වන්නා වූ ගිවිසුම් ගත බැඳීමක් හේතුවෙන් සපයන සේවාවක ස්වාධීනභාවයට වන හානියයි. ණය ශ්‍රේණිගත කිරීම් ආයතනවලට ඔවුන් විසින් සිදුකරනු ලබන ණය ඇගයීම් වෙනුවෙන් ණය නිකුතු ආයතන ගෙවීම් සිදුකරනු ලබයි. එසේම විගණන නිලධාරීන් විසින් සිදුකරනු විගණනයන් වෙනුවෙන් අදාළ සමාගම් විසින් ගෙවීම් සිදුකරනු ලබයි. මේ නිසා මෙය බැඳියා පිළිගැටුමකට මුල පුරයි. දැනට සිටින ණයකර හිමියන් සංඛ්‍යාව හා අලුතින් ණයකර හිමියන් අද්දවා ගැනීම පිණිස නියමිත ශ්‍රේණිගත කිරීමට වඩා ඉහළ නැතහොත් වඩාත් හිතකර වර්ගීකරණයක් තීරණය කරන ලෙසට වර්ගීකරණ ආයතනයට බලපෑම් කිරීමක් සිදු විය හැකිය. එසේ වුවත් පහත සඳහන් තත්ත්වයන් ගෙන් මිදී ණය වර්ගීකරණ ආයතන විසින් ප්‍රමාණවත් පියවර ගනු ලැබුවහොත් බැඳියා පිළිගැටුම් අවම කරගැනීමට එය වඩාත් වැදගත් වනු ඇත.
• කර්මාන්තයේ නියුතු, නිකුතුකරුවන්, සුරැකුම්පත් වර්ග හා සම්බන්ධ පවුල්වල සාමාජිකයන් වර්ගීකරණ ආයතනවල සේවයට බඳවා ගැනීම තහනම් කිරීම.
• සේවකයන් හා පවුල්වල සාමාජිකයක් විසින් සිදුකරන සුරැකුම්පත් ගනුදෙනු, ගිණුම්වල තත්ත්වයන් සම්බන්ධයෙන් අනුකූලතා නිලධාරීන් විසින් නිරන්තර අධීක්ෂණයන් සිදු කිරීම.
• වර්ගීකරණ ආයතනවල ඉහළ මට්ටමේ නිලධාරීන් විසින් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික සම්බන්ධතාවන් නීරීක්ෂණය කරනු ලැබුවහොත් ඒ පිළිබඳව විශ්ලේෂකයන් විසින් කළමනාකාරීත්වයට දැනුම් දිය යුතුය.
• වර්ගීකරණ ආයතනයක මෑතකදී රැකියාවේ නියුතුව සිටි විශ්ලේෂකයන් බඳවා ගැනීම තහනම් කිරීම.
ශ්‍රේණිගත කිරීමේ යාන්ත්‍රණයක් පවතිනවාද?
නැත. ණය ශ්‍රේණිගත කිරීම යනු ණය සුරැකුම්පතක හෝ නිකුත් කරන ආයතනයක ණය ගුණත්වය පිළිබඳව සිදුකරන ඇගයීමකි. එය පදනම් වන්නේ ණය වර්ගීකරණ ආයතනයේ විශ්ලේෂණාත්මක ක්‍රමවේදයන්, උපකල්පනයන්, සහ අපේක්ෂාවන් මතයි. එම නිසා ණය ශ්‍රේණිගත කිරීමක් මගින් පෙන්නුම් කරනු ලබන්නේ ණය නිකුතු ආයතනය අනාගතයේ කෙසේ හැසිරේවිද යන්න පිළිබඳ ණය ශ්‍රේණිගතකිරීම් ආයතනයට ආවේණික වූ තීරණයකි. (විද්‍යාත්මක ක්‍රමවේදයක් මත පදනම්ව)
ණය ශ්‍රේණි (Rating Scales) තුළින් හඟවන්නේ කුමක්ද?
ප්‍රධාන වශයෙන් ණය වර්ගීකරණ මිනුම් දෙයාකාර වේ. ඉන් එකක් ආයෝජන මට්ටමේ ඇගයීම් (Investment Grade Rating) සහ සමපේක්ෂණ මට්ටමේ ඇගයීම් (Speculative Grade Rating ) වේ. ණය මිනුම් සලකුණු 'AAA' සිට 'D' දක්වා විහිදෙන අතර 'AAA' සිට 'BBB' දක්වා වන ඇගයීම් 'ආයෝජන මට්ටමේ ඇගයීම්' ලෙස වර්ගීකරණය කරනු ලබන අතර 'BB' සිට 'D' වන ඇගයීම් 'සමපේක්ෂණ මට්ටමේ ඇගයීම්' ලෙස වර්ගීකරණය කරනු ලබයි.