සාමය හා සංවර්ධනය සඳහා වන ලෝක විද්‍යා දිනය 2001 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කළ අතර, සෑම වසරකම නොවැම්බර් 10 වැනි දිනට යෙදෙන ලෝක විද්‍යා දිනය සඳහා මෙවර තේමාව වී ඇත්තේ 'තිරසාර අනාගතයක් සඳහා විද්‍යාව' යන්නයි.
සාම්ප්‍රදායිකව අනුගමනය කළ විද්‍යා දින සැමරුම් සංකල්පයෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ ප්රගමනය අරමුණු කරගනිමින් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් ලෝක විද්‍යා දිනයට සමගාමීව වැඩසටහන් මාලාවක් නොවැම්බර් මාසය පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ. මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, "අද වනවිට සහශ්‍ර සංවර්ධන ඉලක්කයන්ගෙන් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව විසින් සපුරාගෙන තිබෙනවා. එහිදී, ප්‍රාථමික අධ්‍යාපනය, සාක්ෂරතාවය හා දරුවන් පාසල් ගතකිරීමේ ප්‍රතිශතය වැඩිකිරීම යනාදිය ප්රමුඛ වී තිබෙනවා." යැයි පවසා සිටියේය.
මෙවර ලෝක විද්‍යා දිනයට සමගාමීව අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන සියල්ල එක්ව සතියක් පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. විශේෂයෙන්ම විද්‍යාව හා තාක්ෂණය පාසල් දරුවන් තුළත්, සාමාන්‍ය ජනතාව අතරත් ප්‍රචලිත කිරීම සඳහා මීට පෙර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ විදාතා ජාලය සමග අධ්‍යාපන අමාත්‍යාංශයත්, ජාතික විද්‍යා පදනම ඇතුළු අනෙකුත් ආයතන සමග සම්බන්ධ වෙමින් 2016 ජනවාරි මාසයේ සිට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාතික විද්‍යා දිනයට සමගාමීව පැවැත්වෙන විද්‍යා සතියේ වැඩසටහන් අතර දැනට රටේ දැවෙන ප්‍රශ්නයක් වන වකුගඩු රෝගය කල් තියා හඳුනාගැනීමේ වෛද්‍ය සායනයක්, තම අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කොට විශේෂයෙන් පොළොන්නරුව, අනුරාධපුර හා වව්නියා දිස්ත්‍රික්කවල මූලික කොටගනිමින් පැවැත්වීමට අපේක්ෂිත බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ආර්. විජියලඩ්චුමී මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ ප්‍රධානීන්ද අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල ප්‍රධානීන්ද එක් වී සිටියහ.