ජාතික මාර්ග පද්ධතියේ පාලම් 25ක් ඉදිකිරීමට හා ප්‍රතිසංස්කරණයට අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල ඇ.ඩො.මිලියන 36ක (රු.කෝටි 470ක පමණ) මූල්‍යමය සහයෝගයක් ලබාදීමට එකඟතාව පළ කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ප්‍රවාහන ක්ෂේත්රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ජාතික මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය හා වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය රජයේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුව තුළින් ප්රමුඛ අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන ඇති බවද අමාත්‍යාංශය පවසයි. උග්‍ර රථවාහන තදබදය හා අහිතකර පාරිසරික තත්ත්වයන් හේතුවෙන් දැනට පවතින පැරණි පාලම් නිරන්තරයෙන් අලුත්වැඩියා කිරීමට සිදුව ඇති අතර, එම පාලම්වල බර ඉසුළුම් ශක්තියද අඩුව ඇති බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මුළු දිවයිනම ආවරණය වන පරිදි වර්තමාන අවශ්‍යතාවයට ගැළපෙන අයුරින් ජාතික මාර්ග පද්ධතියේ පාලම් නැවත ඉදිකිරීමට හා ප්‍රතිසංස්කරණයට රජය පියවර ගෙන ඇති බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඒ අනුව, බස්නාහිර පළාතේ පාලම් 9ක්, දකුණු පළාතේ පාලම් 3ක්, වයඹ පළාතේ පාලම් 5ක්, සබරගමුව පළාතේ පාලම් 4ක්, උතුරු පළාතේ පාලම් 3ක් හා නැගෙනහිර පළාතේ පාලමක් වශයෙන් පාලම් 25ක් ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය කෙරෙනු ඇති බව පැවසෙයි.
මෙම නව මූල්‍ය ගිවිසුමට අත්සන් තැබීම මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා හා අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් හේෂාම් අල් වඛයාන් මහතා විසින් ඊයේ (30දා) මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී සිදුකරනු ලැබීය.