2016 ජනවාරි මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 2015 දෙසැම්බර් මාසය සමග සැසඳීමේදී 1.1% ක අඩුවීමක් පෙන්වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 ජනවාරි මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 112.0 ක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, 2016 ජනවාරි මාසයේ දර්ශකය 2015 නොවැම්බර් මාසයේ දර්ශකය (113.2) හා සංසන්දනය කරන විට 1.2ක දර්ශකාංක අඩුවීමක් හා ප්‍රතිශතයක් ලෙස 1.1% ක අඩුවීමක් වාර්තා වේ.
2015 දෙසැම්බර් මාසය හා සසඳන විට 2016 ජනවාරි මාසය සඳහා ආහාර කාණ්ඩයේ වටිනාකමේ වෙනස අඩුවීම සඳහා එළවළු, අමුමිරිස්, ලොකුළූණු, දෙහි, අර්තාපල්, පොල්, සහල්, රතුළූණු සහ කිරිපිටි යන ආහාර ද්‍රව්‍යවල මිලෙහි අඩුවීම බලපා ඇති බව එම දෙපාර්තමේන්තුව කියයි. එසේ වුවත් අලුත් මාළු, කරවල, සීනි, බිත්තර, මයිසූර් පරිප්පු, අඹ, කෙසෙල්, පොල් තෙල් සහ මිරිස් කුඩු යන ආහාර ද්‍රව්‍යවල මිලෙහි වැඩිවීමක් වාර්තා වී ඇති බවද පෙන්වා දෙයි.
2015 දෙසැම්බර් මාසය හා සසඳන විට 2016 ජනවාරි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වටිනාකමේ වෙනස 0.02% ක අඩුවීමක් දක්නට ඇත. මෙම ආහාර නොවන කාණ්ඩයේ වටිනාකමේ වෙනස අඩුවීම සඳහා 'ප්‍රවාහන' කාණ්ඩයේ අඩුවීම බලපා ඇත. 'ප්‍රවාහන' කාණ්ඩයේ වටිනාකමේ වෙනස අඩුවීම සඳහා මුළුමනින්ම බලපා ඇත්තේ ගුවන් ගමන් ගාස්තුවල අඩුවීම බවද පෙන්වා දෙයි. 'මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය' සහ 'ඇඳුම් පැළඳුම් හා පාවහන්' යන කාණ්ඩවල වටිනාකමේ වෙනසෙහි සුළු වැඩිවීමක් වාර්තා වන බවද දෙපාර්තමේන්තුව කියයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා 2016 ජනවාරි මාසය සඳහා වාර්ෂික උද්ධමනය -0.7% ලෙස ගණනය කොට ඇති බවත්, පසුගිය දෙසැම්බර් මාසය සඳහා එම අගය 4.2% ක් ලෙස වාර්තා වූ බවත් සඳහන් කළේය. 2016 ජනවාරි මාසයේ භාණ්ඩ පැසෙහි වටිනාකම (රු.35,997.76), 2015 ජනවාරි මාසයේ භාණ්ඩ පැසෙහි වටිනාකමට (රු.36,272.14) සාපේක්ෂව අඩු වූ බැවින් 2016 ජනවාරි මාසය සඳහා අවධමනයක් ඇති වී තිබෙන බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නවතම පාරිභෝගික මිල දර්ශකය වන ජාතික පාරිභෝගික මිල දර්ශකය (පදනම 2013=100) 2015 ඔක්තෝම්බර් මස සිට අදාල ලිත් මාසය අවසන් වී දින 21 පසු ප්‍රකාශයට පත් කරනු ලැබේ.