ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය, ලෝකයේ කිසිදු කාර්මික අධ්‍යාපන ආයතනයකට නොවෙදෙවෙනි බව මේ වනවිට ලෝකය හමුවේ තහවුරු වී හමාර බවත්, මේ වසරේදී ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය තුළ NVQ 6 වැනි මට්ටමේ පුහුණු පාඨමාලා ආරම්භ කළ බවත් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියේය.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදි පැවති ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සහතික හා ඩිප්ලෝමා ප්රදානෝත්සවයේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මගින් පවත්වන NVQ 7 මට්ටමේ උපාධි පාඨමාලාත් මේ ස්ථානයේදීම පැවැත්වීමේ හැකියාව පිළිබඳවත් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා සමග අප සාකච්ඡා කළා. ඒ අනුව 2017 වනවිට මේ ස්ථානයෙන් ප්‍රථම උපාධිධාරියා බිහිවේවි. මේ ආයතනයේ පුහුණුව ලබන ඔබට උතුරු ඇමෙරිකාව, කැනඩාව ආදී යුරෝපීය රටවල්වලට යාමේ සිහිනයක් තිබිය යුතුයි. ඔබ ඔස්ට්‍රේලියානු සිහිනය ජයගෙන අවසන්. ලෝකයේ ධනවත් කලාපය තුළ රැකියා අවස්ථා සොයායෑම වෙනුවෙන් අවශ්‍ය භාෂා ඥානය ඔබ ලැබිය යුතුයි. අපි මේ වනවිට ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය තුළ ජර්මානු භාෂාවත්, ඉංග්‍රීසි භාෂාවත් ඉගැන්වීමේ කටයුතු ආරම්භ කළා. පුහුණු පාඨමාලාවල රන් පදක්කම්ලාභීන්ට විදේශ විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි හැදෑරීමට අවශ්‍ය ශිෂ්‍යත්ව ලබාදෙනවා” යනුවෙනි.
ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පති ශාන්ත බී. කරුණාරත්න මහතාද මේ අවස්ථාවට සහභාගි විය.