සියලු ජනතාවගේ අපේක්ෂා ඉටුවන, දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සහිත සංවර්ධනාත්මක අයවැයක් අද (10දා) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
අවසන් පැය කිහිපය තුළ අයවැය සකස් කිරීමේ නිරත වී සිටින මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මෙවර අයවැය තුළ මූලික අවධානය යොමුකොට ඇති බවයි.
2017 වසරේ අයවැය සකස් කිරීමේදී ජනතා අදහස් සඳහා ප්‍රමුඛත්වය ලබාදුන් බවත්, සමාජයේ සියලු ජනකොටස් නියෝජනය වන පරිදි ඔවුන්ගේ අවශ්‍යතා හා යෝජනා සැලකිල්ලට ගත් බවත්, අමාත්‍යවරයා කියා සිටියේය. ඒ අතර ගොවි, ධීවර, කම්කරු, සුළු හා මධ්‍ය පරිමාණ මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන්, ස්වයං රැකියාලාභීන්, කර්මාන්තකරුවන්, ආයෝජකයන්, වෘත්තීය සමිති නියෝජිතයන්, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, වෘත්තීයවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, ආගමික නායකයන් වැනි විශාල පරාසයක්, ඊට ඇතුළත් බවත් අමාත්‍යවරයා පවසයි.
එසේම, 2017 අයවැය සඳහා රටේ විවිධ පළාත් නියෝජනය වන පරිදි පොදු මහජනතාවගෙන් අදහස් හා යෝජනා දෙදහස් පන්සීයකට ආසන්න ප්‍රමාණයක් මුදල් අමාත්‍යාංශයට ලැබී තිබුණි.
අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ 70 වැනි අයවැය බවත්, එය යහපාලන රජයේ තෙවැනි අයවැය වන අතර, 'සැමට ප්රතිලාභ ලැබෙන වේගවත් වර්ධනයක් කරා...' යන්න එහි තේමාව බවත් මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එමෙන්ම, මෙවර අයවැය මගින් තරුණ විරැකියාවට විසඳුම් ලැබෙන යෝජනා, ජීවන බර පහත හෙළීම සඳහා වන නව සැලසුම් මෙන්ම ආයෝජන ප්‍රවර්ධනය, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි ඉහළ අවධානයක් යොමුකර ඇති බවද මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් අද (10දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2017 අයවැය යෝජනාවලිය රට තුළ දුප්පත්කම අවසන් කිරීම සඳහා වන ශක්තිමත් ප්‍රවේශයක් ඇති කරන අතරම, දීර්ඝ කාලීන සංවර්ධන සැලසුම් මගින් රටේ සමස්ත අනාගත පරපුර ණය උගුලින් මුදවා ගැනීමේ මහා ජාතික මෙහෙයුමක මුල් පියවර වනු ඇති බවද මුදල් අමාත්‍යාංශය පවසයි.