ජනතා අපේක්ෂා ඉටුකරමින් රටේ සංවර්ධන ගමන තවදුරටත් ශක්තිමත් කරන අයවැයක් 2017 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සංවර්ධනය රටේ සෑම ක්ෂේත්රයකටම පතුරුවාලිය හැකි යෝජනාද ඊට ඇතුළත් කරන බවයි. කොළඹ සිට සකස් කරනලද අයවැයකට වඩා ජනතාවගේ යෝජනා සහ අදහස් ලබාගනිමින් සකස් කෙරෙන 2017 අයවැය සියලු ජනකොටස් වෙත බලපොරොත්තු තැබිය හැකි අයවැයක් වනු ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මුදල් අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ පසුගිය 24දා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදුකළ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 2017 අයවැය සකස් කිරීම සඳහා එම ප්‍රදේශයේ ගොවි, ධීවර සහ වෙළෙඳ ප්‍රජාවගේ අදහස් ලබාගැනීමේ අරමුණින් මෙම සංචාරය සිදුකෙරුණු බව මුදල් අමාත්‍යාංශය කියයි.
මුලින්ම ත්‍රිකුණාමලය චීන වරාය, ශ්‍රී බෝධිරාජාරාමය වෙත ගිය රවි කරුණානායක මහතා, විහාරාධිපති පූජ්‍ය දෙහිඕවිට පියතිස්ස නාහිමියන් බැහැදැක තිබුණි. අනතුරුව කෝනේෂ්වරන් කෝවිල වෙත ගොස්, පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ගොවි, ධීවර සහ ව්‍යාපාරික හමුවකට සහභාගී වී තිබුණි.
මෙම අවස්ථාවේදී එම ජනතාව ඔවුන්ගේ ගැටලු රැසක් මුදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, වී වගාව සඳහා ඇති ශ්‍රම හිඟය, යන්ත්‍ර සූත්‍රවල මිල ඉහළ යාම හේතුවෙන් ඇති වී තිබෙන බලපෑම මෙන්ම, අලෙවිය සම්බන්ධ ගැටලුද මුදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත. විදේශීය ධීවරයන් සහ ඔවුන් තහනම් පන්න ක්‍රම භාවිත කරමින් ධීවර කටයුතුවල නිරතවීම හේතුවෙන් තමන් මුහුණදී ඇති අර්බුදකාරී තත්ත්වය මෙම අවස්ථාවේදී පෙන්වා දුන් ධීවර ජනතාව මේ සඳහා ස්ථිරසාර විසඳුමක් ලබාදෙන ලෙසද අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.
සංචාරක හෝටල් ක්ෂේත්රය ඇතුළු සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයන් රැසක්ද මෙහිදී සිය ගැටලු මුදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ රජයේ ඉඩම් දේශපාලනික හිතවත්කම් මත නිසි ක්‍රමවේදයකින් තොරව පෞද්ගලික අංශය වෙත ලබාදී ඇති බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ. එහිදී, අමාත්‍යවරයා පවසා ඇත්තේ එවැනි ඉඩම් වහාම රජයට පවරා ගැනීම සඳහා ක්‍රියාකරන බවය.
මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අතිරික්ත වී තොග ගබඩාකර තැබීම සඳහා නිසි ක්‍රමවේදයක් සකසන ලෙස අමාත්‍යවරයා වෙත ඉදිරිපත් වූ යෝජනා සඳහා එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට පියවර ගත් බවද අමාත්‍යාංශය කියයි. ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වී තොග රැස්කර තැබීම සඳහා කඩිනමින් ගබඩා සංකීර්ණයක් ස්ථාපනය කිරීමට මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරන බව රවි කරුණානායක මහතා මෙහිදී කියා සිටියේය.
යහපාලන රජය තුළ අපේක්ෂාව වී ඇත්තේ රට තුළ ආර්ථික සංවර්ධන සඳහා ප්‍රමුඛතාව ලබාදීම බවත්, ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් සතු විශාල වගකීමක් ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ.එම්.බී.එම්.වී අතපත්තු, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් එන්.ඒ.ඒ. පුෂ්පකුමාර යන මහත්වරු සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අනතුරුව රවි කරුණානායක මහතා ඓතිහාසික සේරුවිල රාජමහා විහාරස්ථාන වෙත ගොස්, විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමියන් බැහැදුටු බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.