'චීනයේ කොටස් වෙළෙඳ පොළ සිදුවූ කඩා වැටීමෙන් අපට උගතහැකි පාඩම්' මැයෙන් පසුගිය සතියේ පළ වූ ලිපියේ ඉතිරි කොටස මෙතැන් සිට ඔබ හමුවෙහි තබන්නෙමු. වර්ෂ 2014 මැදභාගය වනවිට ලෝකයේ ස්ථාවරම සහ වඩාත් ඉහළ යමින් පවතින කොටස් වෙළෙඳ පොළක් ලෙස වාර්තා වූ චීනයේ ෂැංහයි කොටස් වෙළෙඳ පොළ මෙන්ම, ඒ ආකාරයෙන්ම ඉහළ යමින් පැවති ෂෙන්සෙන් කොටස් වෙළෙඳ පොළ පිළිබඳව අපි පසුගිය සතියේදී කතා කළෙමු. එමෙන්ම, චීනයේ කොටස් වෙළෙඳ පොළ එසේ විශාල ලෙස ඉහළ නගිමින් පවතින විට ආයෝජකයන් විශාල වශයෙන් මුදල් ණයට ලබාගෙන කොටස් වෙළෙඳ පොළට පැමිණි ආකාරයද අපි පෙන්වා දුන්නෙමු. නමුත්, 2015 ජූලි මාසය වනවිට චීන ආර්ථිකය සමග කොටස් වෙළෙඳ පොළද දෙදරා යෑමකට ලක්වූ ආකාරය මෙන්ම, එම දෙදරා යෑමෙන් කොටස් වෙළෙඳ පොළ රැකගැනීම සඳහා චීන රජය මැදිහත් වූ ආකාරය හා ඊට භාවිත කළ ප්‍රධාන වැඩසටහන් කිහිපයක් ගැනද අපි සාකච්ඡා කළෙමු. අවසානයේදී චීනයට %කළු සඳුදා^ දිනයක් උදාවූ ප්‍රවෘත්තියෙන් අපි එදා කතාව නිමා කළෙමු. මේ එතැන් සිට කොටසයි.
චීන ආර්ථිකය හැලහැප්පීම්වලට ඇමෙරිකානු ආර්ථිකයද මුහුණදීම
පසුගිය දශක දෙකක පමණ කාලය තුළ චීනය ළඟාකර ගත් විශාල ආර්ථික වර්ධනය හේතුවෙන් චීනයේ ආර්ථිකය මුළු ලොවටම විවෘත විය. ඇමෙරිකාව ඇතුළු ධනවාදී රටවල බොහෝ ආයෝජන ප්‍රමාණයක් චීනය වෙත ගලා ආ අතර, ඉන් සිදුවූයේ චීන ආර්ථිකය හැලහැප්පීම්වලට ඇමෙරිකානු ආර්ථිකයද මුහුණදීමය. එමෙන්ම, ලෝකයේ නිපදවෙන ඛනිජතෙල් සහ අනෙකුත් අමුද්‍රව්‍ය සඳහා චීනයෙන් ඉතා විශාල ඉල්ලුමක් තිබුණි. කෙසේ වෙතත්, චීන ආර්ථිකය පහළ වැටීමේ ලක්ෂණ පහළවීමත් සමගම ඛනිජතෙල් සඳහා ඇතිවිය හැකි පහළ ඉල්ලුම හේතුවෙන්, ලෝකයේ ඛනිජ තෙල් මිලද පහළ වැටීම ඇරඹුණි. චීනයේ ආර්ථිකය මත තමන්ටද යැපීමට සිදුවීම හේතුවෙන්, චීන ආර්ථිකයේ පහළ වැටීම අනෙක් රටවල් වෙත විශාල බලපෑමක් ඇති කෙරිණි. එහිදී, විශාල වශයෙන් බලපෑමකට ලක්වූයේ අනෙකුත් රටවල්වල කොටස් වෙළෙඳ පොළවල්ය. අගෝස්තු 24 වැනිදා ලෝකයේ බොහෝ කොටස් වෙළෙඳ පොළවල් ඉතා විශාල පහළ වැටීමකට ලක්විය. එංගලන්තයේ ලන්ඩන් කොටස් වෙළෙඳ පොළේ වටිනාකම එම දිනය තුළ පවුම් බිලියන 74කින් පහළ වැටුණු අතර, ඇමෙරිකාවේ ඩවුජෝන්ස් දර්ශකයේ අගය වාර්තාගත ඒකක 1,000කින් පහළ වැටුණි. ජපානයේ ටෝකියෝ කොටස් වෙළෙඳ පොළද 4.6෴ කින් පහළ වැටුණු අතර, යුරෝපයෙ බොහෝ කොටස් වෙළෙඳ පොළවල සාමාන්‍යයක් වශයෙන් 5% කින් පහළ වැටුණි. මෙයට සමාන්තරව ශ්‍රී ලංකාවේ කොළඹ කොටස් වෙළෙඳ පොළද අගෝස්තු 24 වැනිදා ඒකක 7,471 සිට ඒකක 7,331 දක්වා ඒකක 140කින් පහළ වැටුණි. නව රජයක් බලයට පත්වීමෙන් ඇති වී තිබූ ආයෝජක උනන්දුවට චීනයේ සිදුවූ පෙරළිය විශාල ලෙස බලපෑමක් සිදුකරන ආකාරය දක්නට ලැබුණි.
චීන කොටස් වෙළෙඳ පොළ කඩා වැටීමට හේතු සෙවීම ඇරඹෙයි
චීනයේ කොටස් වෙළෙඳ පොළේ කඩා වැටීමට හේතු සොයමින් චීන රජයේ මාධ්‍ය පවසා සිටියේ, මෙම කඩා වැටීමට ආයෝජකයන් වගකිව යුතු බවය. එහිදී, චීන කොටස් වෙළෙඳ පොළේ නියාමකයා ඊට හේතු ලෙස පවසා සිටියේ, කොටස් වෙළෙඳ පොළ තුළ අක්‍රමිකතා සිදුවෙමින් පැවති බවය. එනමුදු, මෙසේ කොටස් වෙළෙඳ පොළ කඩා වැටීමට චීනයේ කොටස් වෙළෙඳ පොළ නියාමකයාද, යම් ආකාරයකට වගකිව යුතු බව මේ වනවිට වාර්තා වේ.
චීන කොටස් වෙළෙඳ පොළ කඩා වැටීමට සැබෑ හේතුව කුමක්ද?
වර්ෂ 2008 දී ඇති වූ ලෝක ආර්ථික අර්බුදයත් සමගම බටහිර රටවල් ආර්ථික අහේණියකට මුහුණ පෑවේය. විශාල පිරිසකට රැකියා අහිමි වූ අතර, රැකියා අහිමි වූවන්ගෙන් ප්‍රධාන වූයේ විදෙස් ශ්රමිකයන්ය. මෙය ප්‍රයෝජනයට ගත් චීනය සංවර්ධිත මෙන්ම, ධනවත් රටවල සිටි චීන ශ්‍රමිකයන් චීනයට ගෙන්වා ගැනීමේ වැඩසටහනක් අරඹණු ලැබීය. විශේෂයෙන්ම, චීන කොටස් වෙළෙඳ පොළ නියාමකයා වන සුරැකුම්පත් නියාමන කොමිසම සිදුකරනු ලැබුවේ ලොව පුරා විසිරී සිටින චීන ජාතිකයන් චීනයට ගෙන්වා ගැනීමය. ඒ සඳහා ඔවුන් ඉහළ වැටුපක් මෙන්ම, අනෙකුත් වරප්රසාදද, ප්රදානය කිරීමට පොරොන්දු වූ අතර, වර්ෂ 2008 ලෝක ආර්ථික අවපාතයත් සමගම චීනයේ කොටස් වෙළෙඳ පොළ නියාමකයා වෙත අනෙකුත් රටවලින් පැමිණි චීන කොටස් වෙළෙඳ පොළ විශේෂඥයන්ගේ ප්‍රමාණය 20ක් පමණ විය. මෙම පිරිස අතර ලෝකයේ ඉහළම කොටස් වෙළෙඳ පොළ සහ අනෙකුත් ප්‍රාග්ධන වෙළෙඳ පොළවල්වලට සම්බන්ධ ආයතනවල සේවය කළ ඉතා ඉහළ අත්දැකීම් ඇති පිරිසක්ද වූහ. මෙම ශ්‍රමිකයන් තම රට වෙත අද්දවා ගැනීම සඳහා චීනය භාවිත කළ තවත් තුරුම්පුවක් වූයේ ජාත්යාලයයි. නමුත්, මෙසේ චීනය වෙත පැමිණි බොහෝ කොටස් වෙළෙඳ පොළ විශේෂඥයන්ට වසරක් හෝ දෙකක් යනවිට දැන් තමන් සිටින්නේ තමන් කලින් සිටියාට වඩා පහළ මට්ටමක බව සිතෙන්නට විය. කලින් පොරොන්දු වූ ඉහළ වැටුප් මෙන්ම, උසස්වීම්ද නොලැබුණු තැන මෙම විශේෂඥයන් විසින් සිදුකරනු ලැබුවේ රාජ්‍ය නියාමන ආයතනයෙන් ඉවත්ව, පෞද්ගලික අංශයට බැඳීමය. මෙසේ සේවය හැරගිය අතිදක්ෂ පුද්ගලයන් හේතුවෙන් චීනයේ සුරැකුම්පත් නියාමන කොමිසම දැඩි අර්බුදයකට ලක්විය. මේ සමගම ඇති වූ කොටස් වෙළෙඳ පොළේ කඩා වැටීම නිසා එම කඩා වැටීම වළක්වා ගැනීමට අවශ්‍ය තරම් දැනුමක් ඇති පුද්ගලයන් නියාමන ආයතනය තුළ නොවීය. ඒ අනුව, වාර්තා වන්නේ මෙම කඩා වැටීම යම්කිසි ආකාරයකින් වළක්වා ගැනීමට හැකිව තිබූ නමුත්, නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව හේතුවෙන් එසේ කිරීමට නොහැකි වූ බවය.
චීන කොටස් වෙළෙඳ පොළේ හැසිරීමෙන් අපට උගත හැකි පාඩම්
චීනයේ කොටස් වෙළෙඳ පොළ හැසිරීම අපට වැදගත් පාඩම් කිහිපයක්ම උගන්වනු ලබයි. විශේෂයෙන්ම, තමන්ට දරාගත නොහැකි ආකාරයට ණය ලබාගෙන කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම තමන් අනවශ්‍ය ආකාරයක අවදානමකට ලක්වීමක් උදාකර ගන්නා බවය. අපි ඉහත සඳහන් කළ ආකාරයට කොටස් වෙළෙඳ පොළේ ඉහළ යෑම හේතුවෙන් චීන ජාතික ආයෝජකයන් තම ගේදොර පවා උකස් කරමින් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීමට පෙළඹෙන ආකාරය දක්නට ලැබුණි. ඉතා අධික ලෙස ණය ලබාගෙන කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම අවදානම් ක්‍රියාවකි. අපි මේ පිළිබඳව දිගින් දිගටම 'අද ආර්ථික පිටුවේ දැනුමෙන් ආයෝජනයට' ලිපි මාලාවේ සඳහන් කර ඇත්තෙමු. විශේෂයෙන්ම වර්ෂ 2010 - 2011 කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළේද මේ තත්ත්වය දක්නට ලැබුණි. තම ගේ දොර උකස් කරමින් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කළ පුද්ගලයන් එදා අපි ශ්‍රී ලංකාවේදීද දැක ඇත්තෙමු.
කොටස් වෙළෙඳ පොළ විශාල ලෙස ඉහළ යන අවස්ථාවක ණයක් ලබාගෙන කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම යම් ආකාරයකින් ඉහළ ප්‍රතිලාභයක් ලබාදෙන මාර්ගයක් විය හැකිය. එනමුත්, යම් අවස්ථාවක කොටස් වෙළෙඳ පොළ පහළ වැටුණහොත් එහිදී ආයෝජකයන් අසරණභාවයට පත්වේ. ණය මුදලක් ලබාගන්නා පුද්ගලයා එම ණය ලබාගත් ආයතනයට ණය මුදල නැවත ගෙවිය යුතුවාක් මෙන්ම, ඒ සඳහා පොලී මුදලක්ද ගෙවිය යුතුය. ඒ අනුව, ණය මුදලක් ලබාගෙන කොටස් මිලදී ගත් පසු එම උපයන ආදායම එම ණය ගෙවීමට මෙන්ම, ණය සඳහා පොලිය ගෙවීමටද සරිලන ආකාරයේ මුදලක් විය යුතුය. බොහෝ විට ආයෝජකයන් තේරුම් නොගන්නේ මේ කාරණයයි. මෙහිදී, අප අදහස් කරන්නේ ණය ලබාගෙන කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම නුසුදුසු ක්‍රියාවලියක් නොවන බවය. එනමුදු, තමන්ට දැරීමට නොහැකි ආකාරයෙන් ණය මුදලක් ලබාගෙන කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම අවදානම් කටයුත්තකි. තමන්ට දැරිය හැකි ආකාරයකින් ණය මුදලක් ලබාගෙන කොටස් වෙළෙඳ පොළ් ආයෝජනය කිරීම ආයෝජකයෙකුගේ වගකීමකි.
චීන කොටස් වෙළෙඳ පොළේ කඩා වැටීම අපට තවත් පාඩමක් කියා දෙයි. එනම්, කොටස් වෙළෙඳ පොළ යනු දිගුකාලීන ආයෝජන මාර්ගයක් බවය. කොටි කාලීන අරමුණු මත හෝ සූදුවක් ලෙස කොටස් වෙළෙඳ පොළ භාවිත නොකළ යුතුය. අපගේ ආයෝජකයන් මේ පාඩම වර්ෂ 2010 - 2011 කාලය තුළ ඉගෙන ගත් අතර, මේ වසරේදී චීන ජාතිකයන් එම පාඩම අත්විඳින ලැබිණි.
මෙහිදී, ඉගෙන ගතයුතු තවත් පාඩමක් නම්, කොටස් වෙළෙඳ පොළ කෘත්‍රිම ලෙස තබාගැනීමට නියාමකයා උත්සාහ නොකළ යුතු බවය. එමෙන්ම, තම නියාමන කාර්යය සහ සංවර්ධන කාර්යය සමබරව පවත්වාගෙන යාමට කොටස් වෙළෙඳ පොළ නියාමකයා උත්සුක විය යුතු බවද ඉන් ගම්‍ය විය.
කොටස් වෙළෙඳ පොළ යනු ඉතා විශාල ප්‍රතිලාභයක් ලබාදෙන ආයෝජන මාර්ගයකි. ශ්‍රී ලංකාවේ වුවද, අනෙකුත් ආයෝජන මාර්ගවලට සාපේක්ෂව පසුගිය වසර 30ක කාලය තුළ කොටස් වෙළෙඳ පොළ ඉහළ ප්‍රතිලාභයක් ලබාදී තිබේ. කොටස් වෙළෙඳ පොළ ආයෝජනය යනු තේරුම් ගැනීමට අපහසු දෙයක් නොවේ. එනමුදු, ආයෝජනය කරන්නා කොටස් වෙළෙඳ පොළේ නැණවත්ව ආයෝජනය කළ යුතුය.
චීනයේ කොටස් වෙළෙඳ පොළ කඩා වැටීමෙන් අපට උගත හැකි පාඩම් - See more at: http://www.ada.lk/article/100473/%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B3-%E0%B6%B4%E0%B7%9C%E0%B7%85-%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F-%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%B4%E0%B6%A7-%E0%B6%8B%E0%B6%9C%E0%B6%AD-%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A#sthash.rbS2AEd1.dpuf