2014 මැද භාගයේ ලෝකයේ වඩාත් ස්ථාවර කොටස් වෙළෙඳ පොළක්
වර්ෂ 2014 මැදභාගය වනවිට ලෝකයේ ස්ථාවරම සහ වඩාත් ඉහළ යමින් පවතින කොටස් වෙළෙඳ පොළක් ලෙස වාර්තා වූයේ චීනයේ ෂැංහයි කොටස් වෙළෙඳ පොළය. එමෙන්ම, චීනයේ ෂෙන්සෙන් කොටස් වෙළෙඳ පොළද ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් පැවතුණි. වර්ෂ 2014 මැදභාගය වනවිට ෂැංහයි කොටස් වෙළෙඳ පොළ වසරක් තුළ 135% ක් ඉහළ ගොස් තිබුණු අතර, ෂෙන්සෙන් කොටස් වෙළෙඳ පොළ වසරක් තුළ 150% ක් ඉහළ ගොස් තිබුණි. මෙසේ චීනයේ ප්‍රධාන කොටස් වෙළෙඳ පොළවල් දෙක ඉහළ යමින් පවතින විට, චීන රජය විසින් තවදුරටත් මහජනයා කොටස් වෙළෙඳ පොළ වෙත ආකර්ෂණය කරගැනීම සඳහා වැඩපිළිවෙළක් දියත් කරනලදී. මේ වසරේ අප්‍රේල් 21 වැනි දින, චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානතම පුවත්පත වන 'පීපල්ස් ඩේලි' පුවත්පත වාර්තා කර සිටියේ ෂැංහයි කොටස් වෙළෙඳ පොළ ඒකක 4,000 සීමාව ඉක්මා ගොස් ඇති බව හා ආයෝජකයන් විශාල වශයෙන් කොටස් වෙළෙඳ පොළට පැමිණෙමින් සිටින බවය. එමෙන්ම, එම පුවත්පත සඳහන් කර සිටියේ කොටස් තැරැව්කාර ආයතන විසින් සතියක් තුළ කොටස් ගනුදෙනු සඳහා ගිණුම් මිලියන 4ක් විවෘත කරන බවය. මීට අමතරව, එහි සඳහන් ප්‍රධාන කාරණයක් වූයේ මෙය ආරම්භයක් පමණක් වන බවය.
මුදල් ණයට ගෙන කොටස් වෙළෙඳ පොළ වෙත පිවිසීමට යුහුසුළු වීම
කොටස් වෙළෙඳ පොළ මෙසේ විශාල ලෙස ඉහළ නගිමින් පවතින විට ආයෝජකයන් විශාල වශයෙන් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීමට පෙළඹෙනු දක්නට ලැබුණි. සාම්ප්‍රදායික ඉතුරුම් මාර්ගවලට වඩා ඉතා ඉහළ ප්‍රතිලාභයක් කොටස් වෙළෙඳ පොළ තුළින් ලැබුණු බැවින්, දිනයක් තුළ මිලියන ගණනින් ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළ තුළට ඇතුළත් වන ආකාරය දක්නට ලැබුණි. මෙසේ චීනයේ කොටස් වෙළෙඳ පොළට සම්බන්ධ වූ බොහෝ ආයෝජකයන් සාමාන්‍ය ජනයා විය. කොටස් වෙළෙඳ පොළ පිළිබඳව එතරම් අවබෝධයක් නොතිබුණත්, චීන රජය විසින් ගෙනගිය විශාල ප්‍රචාරය හේතුවෙන් සහ කොටස් වෙළෙඳ පොළ තුළින් එතෙක් ලැබී තිබූ ඉහළ ප්රතිලාභ හේතුවෙන් සාමාන්‍ය ජනයා විශාල වශයෙන් කොටස් වෙළෙඳ පොළ වෙත යොමුවිය. නමුත්, මෙහිදී සිදුවූ ප්‍රධාන කාරණයක් වූයේ තමන් අත මුදල් නොමැති බැවින් බොහෝ ආයෝජකයන් මුදල් ණයට ලබාගෙන ආයෝජනය කිරීමට පෙළඹීමය. මෙසේ ණය ලබාදීම සඳහා චීනයේ රජ්‍ය බැංකු සැදී පැහැදී සිටි අතර, කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම සඳහා සාමාන්‍ය මහජනයා හට විශාල වශයෙන් ණය ලැබුණි. මීට අමතරව, සාමාන්‍ය මහජනයා විසින්ද තමන් සතු ගේදොර උකස් කර කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම සුලභ ලක්ෂණයක් විය. චීනයේ වාර්තා වෙමින් පැවති ඉතා ඉහළ ආර්ථික වර්ධන වේගයත් සමගම කොටස් වෙළෙඳ පොළ තවදුරත් ඉහළ නගිනු ඇතැයි චීනයේ ආයෝජකයන් බලාපොරොත්තු විය.
2015 ජූලි මාසය වනවිට චීන ආර්ථිකය සමග කොටස් වෙළෙඳ පොළද දෙදරා යෑම
එනමුදු, බලාපොරොත්තු නොවූ අයුරින් චීනයේ ආර්ථික වර්ධන වේගය ශීඝ්‍රයෙන් පහළ වැටෙනු ඇතැයි මත පළ වීමත් සමගම ආයෝජකයන් තිගැස්මකට ලක්විය. මේ වසරේ ජූලි 08 සහ 09 වනවිට චීනයේ ආර්ථික වර්ධනය සැලකිය යුතු ලෙස පහළ වැටෙනු ඇතැයි සනාථ වෙත්ම, කොටස් වෙළෙඳ පොළ විශාල ලෙස පහළ වැටීම ඇරඹුණි. මේ වසරේ ජූලි මාසයේදී මුල් සති තුන ඇතුළත පමණක් කොටස් වෙළෙඳ පොළ 30% කින් පහළ ගිය අතර, එම පහළ යෑම හේතුවෙන් ආයෝජකයන් අතර විශාල කැළඹීමක් ඇති විය. විශේෂයෙන්ම, ණය ලබාගෙන කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර තිබූ ආයෝජකයන් තම කොටස් මිල ගණන් පහළ වැටීමත් සමගම ඉතා අසරණ තත්ත්වයකට පත්විය.
කොටස් වෙළෙඳ පොළ රැකගැනීම සඳහා චීන රජය මැදිහත් වීම
ඒ වනවිට, කොටස් වෙළෙඳ පොළ පහළ වැටීම තවදුරටත් වළක්වා ගැනීමේ අරමුණින් චීන රජය ඒ සඳහා මැදිහත් විය. කොටස් වෙළෙඳ පොළ පහළ වැටීම වළක්වා ගැනීමේ අරමුණින් චීන රජය විසින් වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කරන ලදී. ඒවා අතර ප්‍රධාන වැඩසටහන් කිහිපයක් වූයේ,
-
රජය විසින් කොටස් මිලදී ගැනීම
චීන රජය විසින් සුරැකුම්පත් මූල්‍ය ආයතනය (China Securities Finance Corporation - CSF) පිහිටුවා ඒ මගින් ඇ.ඩො.බිලියන 42ක මුදල් ප්‍රමාණයක් කොටස් තැරැව්කාර ආයතන 21ක් සඳහා ලබාදෙන ලදී. එයින් බලාපොරොත්තු වූයේ බ්ලූචිප් සමාගම්වල කොටස් මිලදී ගැනීමය. බ්ලූචිප් සමාගම් යනු කාර්ය සාධනය අතින් ඉහළ සමාගම්ය.
-
රජය විසින් කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම්වල කොටස් මිලදී ගැනීම
බ්ලූචිප් සමාගම්වල කොටස් මිලදී ගැනීමට අමතරව, සුරැකුම්පත් මූල්‍ය ආයතනය විසින් කුඩා සහ මධ්‍ය පරිමාණ සමාගම්වලද කොටස් මිලදී ගැනීම සිදුකරනු ලැබිණි.
-
රජය විසින් ඇ.ඩො.බිලියන 40ක් ආර්ථික වර්ධනය සඳහා යොමු කිරීම
මෙමගින් රජය බලාපොරොත්තු වූයේ වර්ධනය පහළ වැටෙමින් ආර්ථිකය යථාතත්ත්වයට ගැනීමටය.
යටිතල පහසුකම් සඳහා රාජ්‍ය මුදල් යෙදවීම තුළින් අඩාල වී තිබූ ආර්ථික වර්ධනය ඉහළ නංවා ගැනීමට උත්සාහ කෙරිණි.
-
කොටස් වෙළෙඳ පොළේ ඇති සමාගම්වලින් 50% ක් පමණ කොටස් ගනුදෙනු අත්හිටුවීම
චීන රජය විසින් තම කොටස් වෙළෙඳ පොළෙවල්වල ඇති ලැයිස්තුගත සමාගම්වලින් 50% කට වැඩි ප්‍රමාණයක් සඳහා කොටස් ගනුදෙනු නැවැත්වීමට අවසර ලබාදුණි. මෙයින් බලාපොරොත්තු වූයේ, කොටස්වල මිල ගණන් පහළ වැටීම නවත්වා ගැනීමය.
-
මහා පරිමාණ ආයෝජකයන් විසින් කොටස් විකිණීම අත්හිටුවීම
ජූලි 08 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි යම් සමාගමක පාලනය හිමි කොටස් හිමියන් සහ අධ්යක්ෂවරු සඳහා නීතියක් පමුණුවමින් චීනයේ කොටස් වෙළෙඳ පොළ නියාමකයා වන සුරැකුම්පත් නියාමන කොමිෂන් සභාව පවසා සිටියේ යම් සමාගමක විශාල කොටස් ප්‍රමාණයක් හිමි සමාගම් පාලනය කරනු ලබන්නා වූ, මහා පරිමාණ කොටස් හිමියන් සහ එම සමාගම්වල අධ්යක්ෂවරු විසින් මාස 06ක කාලයක් සඳහා තම කොටස් විකිණීමට නොහැකි බවය. එමගින්ද බලාපොරොත්තු වූයේ, කොටස් වෙළෙඳ පොළේ ඇති කොටස් සැපයුම අත්හිටුවා මිල ගණන් පහළ වැටීම නවත්වා ගැනීමටය.
-
නව කොටස් නිකුතූන් අත්හිටුවීම
මහජනයා වෙත කොටස් නිකුත් කර මුදල් ලබාගන්නා ප්‍රාථමික නිකුතූන් වහාම ක්‍රියාත්මක වන පරිදි, චීනයේ නියාමන ආයතනය විසින් අත්හිටුවන ලදී.
-
චීනයේ මහ බැංකුව විසින් පොලී අනුපාත පහළ දැමීම
චීන මහ බැංකුව විසින් පොලී අනුපාත පහළ දැමුණු අතර, එමගින් බලාපොරොත්තු වූයේ කොටස් වෙළෙඳ පොළ ඉහළ නැංවීමටය. කොටස් වෙළෙඳ පොළ ඉහළ යෑම සහ පොලී අනුපාත අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධයක් වන අතර, පොලී අනුපාත පහළ වැටෙන විට කොටස් වෙළෙඳ පොළ ඉහළ යෑමත්, පොලී අනුපාත ඉහළ නැගෙන විට කොටස් වෙළෙඳ පොළ පහළ වැටීමත් දක්නට ලැබේ.
-
කොටස් මිලදී ගැනීම සඳහා ණය ලබාදීම
ආන්තික ණය ලබාදෙන ආයතන මගින් කොටස් වෙලෙඳ පොළේ කොටස් මිලදී ගැනීම සඳහා තවදුරටත් ආන්තික ණය ලබාදීම සිදුකරන ලදී.
චීනයේ සංසරණය මුදල් වර්ගය වන යූආන් හි අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ජූලි මාසයේදී පහළ දමන ලදී.
මෙම සියලු ක්‍රියාකාරකම්වලින් බලාපොරොත්තු වූයේ කඩා වැටෙමින් පැවති කොටස් වෙළෙඳ පොළ තවදුරටත් පහළ වැටීම නවත්වා ගැනීමටය. කොටස් වෙළෙඳ පොළේ මෙම පහළ යෑම කලින්ම පුරෝකථනය කිරීමේ හැකියාව ආයෝජකයන්ට තිබුණු නමුත්, ඔවුන් ඒ දෙස නොබැලුවේ මන්දැයි ගැටලුව මෙහිදී මතුවෙයි. විශේෂයෙන්ම මේ වසරේ මුල් කාර්තුවේ සිට ආර්ථිකයේ වර්ධනය යම්කිසි අඩාල වීමක් පෙන්නුම් කළ අතර, සමාගම් රැසක ලාභදායීත්වයේද අඩුවීමක් පෙන්නුම් කරන ලදී. මෙම ලක්ෂණ කොටස් වෙළෙඳ පොළක පහළ වැටීමක පෙරනිමිති වන අතර, ආයෝජකයන් ඒ පිළිබඳව සැලකීම සම්පූර්ණයෙන් බැහැර කර ඇත. චීන රජය විසින් ගන්නාලද ඉහත සඳහන් ක්‍රියාමාර්ග හේතුවෙන් කොටස් වෙළෙඳ පොළේ පහළ වැටීම ජූලි මාසය තුළ යම්කිසි ආකාරයකින් පාලනය කරගත හැකි වූ අතර, එම පාලනය කරගැනීමද කෙටි කාලීන විය.
ඒ අනුව, මේ වසරේ අගෝස්තු 24 වැනිදා වනවිට ෂැංහයි කොටස් වෙළෙඳ පොළ නැවත වතාවක් කඩා වැටීම ඇරඹුණි. ආගෝස්තු 24 වැනි දින ෂැංහයි කොටස් වෙළෙඳ පොළේ මිල දර්ශකය 8.5% ක් පහළ වැටෙමින් එහි ඉතිහාසයේ දිනයක් තුළ වාර්තා කළ ඉහළම කඩාවැටීම වාර්තා කරන්නට විය. විචාරකයන් විසින් අගෝස්තු 24 වැනි දින දැන් හඳුන්වනු ලබන්නේ චීනයේ Black Monday හෙවත් 'කළු සඳුදා' ලෙසය.
මෙම ලිපියේ ඉතිරිය 'දැනුමෙන් ආයෝජනයට' ලිපි මාලාවේ මීළඟ කොටස තුළින්...