ශ්‍රී ලංකාවේ 968,000ක් ගොවීන් ගොවි විශ්‍රාම වැටුපේ දායකත්ව ලබා තිබෙන බවත්, ඉන් 128,000ක් මාස්පතා විශ්‍රාම වැටුප් ලබන බවත් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ පසුගියදා මාතලේ සංචාරක හෝටල් පාසල් ශ්‍රවණාගාරයේ පැවැති මාතලේ දිස්ත්‍රික්කයේ ගොවි විශ්‍රාම වැටුප් ප්රදානය කිරීමේ උළෙලට සහභාගි වෙමිනි.
මහා භාණ්ඩාගාරයෙන් රු.මිලියන 1,000ක මුදලක් වාර්ෂිකව ගොවි විශ්‍රාම වැටුප් ගෙවිම සඳහා වෙන් කරනු ඇති බවත්, වයස අවුරුදු 60-63ත් අතර අයට මාසිකව රු.1,000ක විශ්‍රාම වැටුපකුත්, වයස අවුරුදු 64-70ත් අතර අය සඳහා රු.1,250ක විශ්‍රාම වැටුපකුත් හිමි වනු ඇති බව අමාත්‍යවරයා පැවසීය.
තවද වයස අවුරුදු 71-78ත් අතර අය සඳහා රු.2,000කුත්, වයස අවුරුදු 78ට වැඩි අයට රු.5,000ක විශ්‍රාම වැටුප් දීමනාවකුත් ලබාදීමට රජය කටයුතු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ගොවි දායක මුදල් පදනම් කරගෙන විශ්‍රාම වැටුප් ක්‍රමය සකස් කොට තිබූ අවස්ථාවක වර්තමාන රජය අකර්මණ්‍යව තිබූ ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය නැවත ආරම්භ කළ බව පැවසූ අමාත්‍යවරයා ගොවි ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කිරීමට රජය ගෙන යන මේ වැඩපිළිවෙළ අගය කළ යුතු බව පැවසීය.
මේ අවස්ථාවට උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක යන මහත්වරු සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් ඒ. මීගස්මුල්ල මහත්මිය ඇතුළු රජයේ නිලධාරීහු සහ ගොවීහු රැසක් සහභාගි වූහ.