ගුවන් යානා අනතුරු විමර්ශනය කිරීම සඳහා නිසි ක්‍රමවේද සකස් කිරීම පිහිටුවා ඇති ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ තෙවැනි සමුළුව සහ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ආසියා ශාන්තිකර කලාපීය කාර්යාලයේ මූලිකත්වයෙන් පැවැත්වෙන ගුවන් යානා අනතුරු විමර්ශනය කිරීම පිළිබඳ වැඩමුළුව අද (23දා) ආරම්භ විය.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන මෙම සමුළුව හා වැඩමුළුව අද (23දා) සිට 26 දා දක්වා කොළඹ රමාඩා හෝටලයේදී පැවැත් වෙනු ඇත.
තායිලන්තයේ බැංකොක් හි පිහිටා ඇති ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ආසියා ශාන්තිකර කලාපීය කාර්යාලයේ වාර්ෂික වැඩසටහනෙ හි වැදගත් අංගයක් වන මෙම සමුළුව සහ වැඩමුළුව සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20ක නියෝජිතයන් 45 දෙනෙකු සහභාගි වෙති. ඊට අමතරව බැංකොක් කලාපීය කාර්යාලයේ අධ්යක්ෂවරයා නියෝජනය කරමින් එහි ගුවන් නිරුපද්රතතාව පිළිබඳ කලාපීය නිලධාරිවරයාද මේ සඳහා සහභාගි වේ. ප්‍රථම දෙදින තුළ පැවැත්වෙන අනතුරු විමර්ශන සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් තිදෙනෙක් සහභාගි වන අතර අවසන් දින දෙකෙහි පැවැත්වෙන වැඩමුළුව සඳහා සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයේ ආයතනයන්ගෙන් සමන්විත වන 30 දෙනෙකුගේ නියෝජිත කණ්ඩායමක් සහභාගි වීමට නියමිතය.
මෙම රැස්වීමේ සභාපතිවරයා ලෙස සිංගප්පූරුවෙ හි ගුවන් යානා අනතුරු විමර්ශන ආයතනයේ අධ්යක්ෂවරයා කටයුතු කරනු ඇත.
සිවුදින වැඩසටහනෙ හි ප්‍රධාන අරමුණ වන්නේ ගුවන් යානා අනතුරු විමර්ශනය සඳහා යොදාගත හැකි නව ක්‍රමවේද පිළිබඳව හඳුන්වාදීම, අනතුරු විමර්ශනය කිරීම පිළිබඳව එක් එක් රාජ්‍යයන් හි දැනුම සහ හැකියාව වැඩි දියුණු කිරීම සහ අනතුරු විමර්ශනය පිළිබඳ අත්දැකීම් සහ දැනීම එකිනෙකා අතර සාකච්ඡා කිරීම හා බෙදාගැනීම ය. ඊට අමතරව අනතුරු විමර්ශනය පිළිබඳ කලාපීය සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමද ජාත්‍යන්තර මට්ටමින් දියුණුකර ඇති අනතුරු විමර්ශන පිළිබඳ නව ක්‍රමවේද සහ නිපුනතාවයන් ඉදිරිපත් කිරීමද සමුළුවේ තවත් අංගයක් වේ.
අනතුරු විමර්ශනය පිළිබඳ වැඩමුළුවේදී විෂය පිළිබඳ පුළුල් දැනීමක් සහ පලපුරුද්දක් ඇති ජාත්‍යන්තර මට්ටමේ කථිකයන් 15 දෙනෙකු පසුගිය කාලසීමාවේදී ලොව සිදුවූ ප්‍රධාන පෙළේ ගුවන් යානා අනතුරු විමර්ශනය කිරීම පිළිබඳව තම තමාගේ අත්දැකීම් විස්තර කිරීමද අභියෝගාත්මක තත්ව යටතේ සිදුකෙරෙන ගුවන්යානා අනතුරු විමර්ශනයන්, විශේෂයෙන් සාගර ප්‍රදේශයන් හිදී සිදුවන ගුවන් යානා අනතුරු සහ සාගරයන් තුළ ගිලී ගිය ගුවන් යානා නැවත ගොඩගැනීම වැනි වූ දුෂ්කර ක්‍රියාවලීන් සිදුකරන ලද ආකාරය ඉදිරිපත් කිරීමද සිදුකිරීමට නියමිතය. මෙම අවස්ථාවේදී අනතුරු විමර්ශනය පිළිබඳ දියුණුකර ඇති ඉතා නවීන තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයේ බොයිං ගුවන් යානා නිෂ්පාදන සමාගමද, බ්‍රසීලයේ එම්බ්රායර් ගුවන් යානා නිෂ්පාදන සමාගමද ඉදිරිපත් කිරීම් සිදුකිරීමට නියමිතය.
ගුවන් යානා අනතුරු විමර්ශනයේ ප්‍රධානතම අරමුණ වන්නේ අනාගතයෙහි ගුවන් යානා අනතුරු අවමකර ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමත් අදාළ පුද්ගලයන් සහ ආයතන විසින් එම නිර්දේශයන්ට අනුකූලව තම ක්‍රමවේද වෙනස්කර ගැනීමත්ය. එක් එක් රාජ්‍යයන් තම තමාගේ සම්පත්, දැනුම සහ පලපුරුද්ද එකිනෙකා අතර හුවමාරුකර ගැනීමද කලාපීය සහයෝගීතාවයද ගුවන් යානා අනතුරු විමර්ශනයේදී ඉතා වැදගත් වේ.
මෙම සමුළුවේ ආරම්භක අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියෙහි සභාපති ෂිබ්ලි අසීස් මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වීමට නියමිතය.