ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම මේ වසරේ මුල් මාස හතර ඇතුළත හුවමාරු කළ මගීන් සංඛ්‍යාව වන 414,307 ඇතුළත්ව 2,595,842ක මුළු මගී සංචලන ප්‍රමාණයක් වාර්තා කර ඇති බවත්, එය පසුගිය වසරට සාපේක්ෂව 7%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පවසයි.
මෙට්‍රික් ටොන් 47,994ක ගුවන් බඩු හුවමාරුද මේ යටතේ සිදු කර ඇත. මත්තල ගුවන් තොටුපළ තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා දෙවැනි අදියර ලෙස ඇ.ඩො.මිලියන 120ක මුදලක් ලබාගැනීමට අපේක්ෂා කරන බවත්, ජපානයෙන් ලබාගනු ලබන ඇ.ඩො.මිලියන 346ක ණය මුදලකින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙවැනි අදියර දෙවැනි කොටස ආරම්භ කිරීමට නියමිත බවත් කියැවෙයි.
එමගින් මගීන් හැසිරවීමේ ධාරිතාව මිලියන 6සිට 15 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කෙරෙන අතර, ඇ.ඩො.මිලියන 105ක දේශීය අරමුදල් යොදාගෙන දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළහි ධාවන පථය නැවත සැකසීමටද නියමිත වේ.