කොටස් වෙළෙඳ පොළේදී මේ ගැනත් උනන්දු වන්න
කොටස් තරැව්කාර ආයතනයක සේවය කරන්නෙකුට කොටස් ගනුදෙනු කළ හැක්කේ ඔහු හෝ ඇය සේවය කරන ආයතනයෙන් පමණි.
ඔබගේ ආයෝජන උපදේශකවරයාටද තමන් වෙනුවෙන් කොටස් ගනුදෙනුවල නිරත වීමට හැකියාව ඇති අතර, ඒ පිළිබඳවත් ඔබ දැනුම්වත්ව ගනුදෙනු කිරීම ආයෝජකයෙකු වශයෙන් වැදගත් වේ. ඒ අනුව, ආයෝජන උපදේශකයෙකුට තමන් දැනට සේවයේ නිරතව සිටින ආයතනයෙන් හැර වෙනත් කොටස් තරැව්කාර ආයතනයකින් කොටස් මිලදී ගැනීමට හැකියාවක් නැත. එමෙන්ම එම ආයෝජන උපදේශකයන්ට ගනුදෙනු කිරීම තහනම් කර ඇති කොටස් ලේඛනයේ ඇති කොටස් ගනුදෙනු කිරීමටද හැකියාවක් නොමැත. එසේ ගනුදෙනු කිරීම තහනම් කර ඇති කොටස් යනු මහජනතාවට තොරතුරු ප්‍රසිද්ධ කර නොමැති කොටස් තැරැව්කාර සමාගම සතුව පමණක් පැවතීමයි. එවැනි ගනුදෙනුවලින් ඉවත්වීම තුළින් ආයෝජකයා සහ කොටස් තැරැව්කාර ආයතනය අතර ඇති වෘත්තීමය සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇත.
ආයෝජකයාගේ මූල්‍ය තත්ත්වය, පළපුරුද්ද සහ ආයෝජන අරමුණු පිළිබඳව ආයෝජන උපදේශකයා හොඳින් තේරුම්ගත යුතුය.
ආයෝජන තීරණ ගැනීමේදී ආයෝජකයාට සහාය වීම ආයෝජන උපදේශකයකුගේ වගකීමකි. එමෙන්ම, ආයෝජකයකුද තම ආයෝජන උපදේශකවරයා වෙත පැහැදිලි, නිවැරදි තොරතුරු ලබාදීම පිළිබඳ සහතික විය යුතුය. එනම්, ආයෝජකයා තමන් සතු මුදල් ප්‍රමාණය කොපමණද, තමන්ගේ අනාගත බලාපොරොත්තු මොනවාද යන්න ආදී තොරතුරු නිවැරදිව ආයෝජන උපදේශකවරයා වෙත ලබාදීමෙන්, තමන්ට ගැළපෙන ආයෝජන උපදෙස් නිසි ලෙස ලබාදීමට එය පහසුවක් වේ. ඔබ නිවැරදි තොරතුරු ඔබගේ ආයෝජන උපදේශකවරයා වෙත නොපැවසුවහොත් ඔබ පිළිබඳ වැරදි චිත්‍රයක් ආයෝජන උපදේශකවරයාගේ සිතෙහි ඇතිවීමට පුළුවන. එය ඔබට අවාසි ගෙනදීමට හේතුවක්ද විය හැකිය.
ඔබ කොටස් තැරැව්කාර ආයතනයකින්ම කොටස් ගිණුමක් ආරම්භ කරගත යුතුය.
කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කිරීමට ප්‍රථම ඔබ කැමති කොටස් තරැව්කාර ආයතනයකින් කොටස් ගිණුමක් ආරම්භ කර ගත යුතුය. එය ආරම්භ කිරීමේදී ඔබගේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්රයෙහි අංකය නිවැරදිව සටහන් කිරීම, ඔබගේ අත්සන නිවැරදිව තැබීම, ඔබගේ පදිංචි ලිපිනය, රැකියාව සහ ඔබගේ රැකියා ස්ථානයේ නම, ලිපිනය සහ දුරකථන අංකය ආදියද නිවැරදිව සටහන් කිරීම අවශ්‍ය වේ.
වෙළෙඳ පොළෙහි ඇති අවදානම පිළිබඳව කොටස් තැරැව්කාර ආයතනය ඔබව නිසි ලෙස දැනුවත් කර තිබිය යුතුය.
ඔබ කොටස් ගිණුමක් ආරම්භ කිරීමේදී කොටස් තරැව්කාර ආයතනය ඔබට ආයෝජක ගිවිසුම ඉදිරිපත් කළ යුතු අතර, එහි ඇති අවදානම පිළිබඳ විස්තර කරන ප්‍රකාශය දෙස ඔබගේ අවධානය යොදවා එය පැහැදිළි කරදීම තරැව්කාර ආයතනයේ වගකීමකි. ආයෝජකයා විසින් එය නිසි ලෙස කියවීමෙන් අනතුරුව එය කියවූ බවට ඔහුගේ නිවැරදි අත්සන තැබීමද අවශ්‍ය වේ. ඉන් අදහස් වන්නේ ආයෝජකයා කොටස් වෙළෙඳ පොළෙහි ඇති අවදානම පිළිබඳ තේරුම් ගෙන තම මුදල් ආයෝජනය කරනවා යන්නයි.
කොටස් තරැව්කාර ආයතනය නිවැරදි සහ අංග සම්පූර්ණ වාර්තා තබා ගැනීමක්ද කළ යුතුය.
එක් එක් ආයෝජකයා විසින් සිදුකළ කොටස් ගනුදෙනුවලට අදාළ ගැනුම් සටහන් හා විකුණුම් සටහන් (Bought Note සහ Sold Note) පොත්පත් සහ අනෙකුත් ලිපි ලේඛන නිවැරදිව ඕනෑම අවස්ථාවක ලබාගත හැකි ආකාරයෙන් පවත්වාගෙන යා යුතුය. එය ඉතා පහසුවෙන් ලබාගත හැකි ලෙස විද්‍යුත් ආකාරයෙන් හෝ ලිඛිතව පවත්වාගෙන යා හැකිය. එමෙන්ම කොටස් තරැව්කාර ආයතනයක් මෙම තොරතුරු ඉතා අවංකව, සුරක්ෂිතව සහ රහසිගතව පවත්වා ගැනීම පිළිබඳවද සහතික විය යුතුය.
ආයෝජකයෙක් සිදුකළ කොටස් ගනුදෙනුවකට අදාළ විස්තර පත්‍රිකාවක් ගනුදෙනු දිනය අවසානයේදී ආයෝජකයා වෙත ලබාදිය යුතුය.
ඔබ කළ ගනුදෙනුවක් හා සම්බන්ධ විස්තර (ගැනුම් හෝ විකුණුම්) සඳහන් කොට ගනුදෙනු දිනය අවසානයේ විස්තර පත්‍රිකාවක් ඔබට ලබාදීමට කොටස් තැරැව්කාර ආයතනය කටයුතු කළ යුතුය. එය තැපැල් මගින් හෝ ඊ-මේල් මගින් යවනු ඇත. එහි සඳහන් තොරතුරු අතර, ඔබ මිලදීගත් සහ විකුණූ කොටස් වර්ග මොනවාද, කුමන මිලක් යටතේද, කුමන කොටස් ප්‍රමාණයක්ද, කොටස් තැරැව්කාර ආයතනය අය කළ ගාස්තු ආදී ඉතා වැදගත් තොරතුරු එහි අනිවාර්යෙන් සටහන් වී ඇත. එය ආයෝජකයෙකුට තමන් සිදුකළ කොටස් ගනුදෙනුව පිළිබඳ තහවුරු කරගැනීමට ඇති වටිනාම ලියවිල්ලකි. විශේෂයෙන්ම ඔබ වෙනුවෙන් කොටස් ගනුදෙනු කිරීමට කොටස් තරැව්කාර ආයතනය වෙත පවරා ඇත්නම් (ඔබ අභිමතය පරිදි ගනුදෙනු කිරීමේ ගිණුමක් පවත්වාගෙන යන්නෙක් නම්) මෙම ගැණුම් හෝ විකුණුම් සටහන් ඉතා ප්‍රයෝජනවත් වන අතර, ඒවා ඉතා සුරක්ෂිතව තබාගැනීම ආයෝජකයෙකු විසින් සිදුකළ යුතුය.
මෙහි තවත් කොටසක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න...
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

