Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
කොටස් වෙළෙඳ පොළ ආයෝජනය සම්බන්ධයෙන් ආයෝජකයන්ට පැන නඟින ගැටලු සහ ඒ සඳහා පිළිතුරු මීට පෙරද 'අද ව්‍යාපාරික පිටුවේ' සතිපතා පළ කෙරෙන 'දැනුමෙන් ආයෝජනයට' ලිපි මාලාව තුළින් අපි සාකච්ඡා කළෙමු. ඒ අනුව, මෙවර ලිපිය මගින්ද අප උත්සාහ කරන්නේ එවැනි තවත් ගැටලු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමටය.
Q. කොටස් වෙළෙඳ පොළ ආයෝජනයෙහි ඇති අවදානම යනු සමාගම්වල කාර්යසාධනය පහළ යාමද?
ඕනෑම ආයෝජනයක අවදානමක් පැවතිය හැකි අතර, කොටස් වෙළෙඳ පොළ ආයෝජනයෙහිද එය දැකිය හැකිය. වැදගත් වන්නේ එම අවදානමේ ස්වභාවය තේරුම් ගැනීම සහ ඒ අනුව ආයෝජනයෙහි නිරත වීමය.
කොටස් වෙළෙඳ පොළ ආයෝජනය යනු ලැයිස්තුගත සමාගම්වල එනම්, ව්‍යාපාරවල කොටස්කරුවන් බවට පත්වීමකි. ව්‍යාපාරයක් සාර්ථකව ඉදිරියට රැගෙනයාම එතරම් පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා ව්‍යාපාරයේ කළමනාකාරීත්වයට ඇත්තේ ප්‍රබල වගකීමකි. එමෙන්ම ව්‍යාපාරයේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත් ඔවුන්ගේ වගකීමෙහි කොටසකි. ඒ සඳහා සමාගමකට ප්‍රමාණවත් තරම් මූල්‍යමය සම්පත්, යටිතල පහසුකම් හා මානව සම්පත්ද ඇතුළු අනෙකුත් අවශ්‍යතා සියල්ල නොඅඩුව ලැබිය යුතුය. එවිට සමාගමකට තම අරමුණු කරා ළඟාවීමට ඉතා පහසුය. එපමණක් නොව එහි පාර්ශ්වකරුවන්ට සතුටු විය හැකි ප්රතිලාභයන්ද ලබාදීමට හැකියාව ලැබෙන අතර, ඔවුන්ගේ කොටස්වල අගය ඉහළ නංවා ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.
ඉහත කී කරුණු අතරින් එකක් හෝ කිහිපයක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් පවතින විට සමාගමකට එය ඉදිරියට යාමට බාධාවක් වේ. සමාගමක ඇති අවදානම යනුවෙන් අප අදහස් කරන්නේ එවැනි පසුබිමක් සහිත තත්ත්වයකි. සමාගමක් මෙසේ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදෙන විට එහි ලාභදායීත්වයට එය බලපානු ඇත. එසේම ලාභදායීත්වය අඩු වනවිට සමාගමේ කොටස් හිමියන්ට ප්රතිලාභ ගෙවීමට ඇති ඉඩකඩද සීමා වෙයි. මෙසේ ආයෝජකයන්ට එවැනි සමාගම් තුළින් ලැබෙන ප්රතිලාභ අඩු වනවිට සහ කොටස්වලට ඇති ඉල්ලුම අඩු වනවිට සමාගම්වල කොටසක මිල පහළ බැසීමට ඉඩ ඇත. කොටස් වෙළෙඳ පොළ තුළ අවදානමක් පවතිනවා යැයි බොහෝ දෙනා පවසන්නේ මෙවැනි තත්ත්වයකටය.
එය තවත් අයුරකින් පැවසුවහොත් සමාගම්වල කාර්යසාධනය (Performance of Listed Companies) යන්නෙන් හඳුන්වන්නේද එයයි. ඒ අනුව ඉහළ කාර්ය සාධනයක් සහිත සමාගම්වල ආයෝජනය කිරීමට ආයෝජකයන් උත්සාහ කළ යුතුය.
Q. කාර්යසාධනය අතින් පහළ සමාගම්වලට නැවත යථාතත්ත්වයට පත්විය නොහැකිද?
යම් සමාගමක් කාර්යසාධනය අතින් පහළ වැටුණු විට එයට හේතු සොයා බලා එය නිසි මාවතට ගෙන ඒම සමාගමක අධ්යක්ෂ මණ්ඩලය/කළමනාකාරීත්වයට පැවරී ඇති වගකීමකි. ඒ අනුව, එහි කොටස් හිමියන්ගේ අපේක්ෂා ඵලදායී අයුරින් ඉටුකර ගැනීමට අවස්ථාව සැලසීමද ඔවුන්ගේ ප්‍රධාන කාර්යයකි. ඒ නිසා සමාගමකට නැවත යථාතත්ත්වයට පත්වීමට හැකියාවක් නැතැයි පැවසිය නොහැකිය. නමුත් සමාගමකට ඒ සඳහා යම් කාලයක් ලබාදිය යුතු වේ. සමාගමක් සෑමවිටම ඉහළට යාමක් හෝ පහළට යාමක් සිදුවෙතැයි 100෴ක විශ්වාසයක් තබා කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කිරීම නොව, වඩා වැදගත් වන්නේ අවශ්‍ය තැන්වලදී නිසි ආයෝජන තීරණ ගෙන ආයෝජනයෙහි නිරත වීමය. ඒ අනුව, ආයෝජකයකු ගතයුතු පියවර රැසක් ඇත. ඒවා ක්‍රියාත්මක කිරීමද එතරම් අපහසු කටයුත්තක් නොවේ.
Q. නිවැරදි ආයෝජන තීරණ යනු මොනවාද?
කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී ආයෝජකයකු ගත යුතු නිවැරදිම ආයෝජන තීරණයක් වන්නේ වඩාත් සැලසුම් සහගත ආයෝජන කළඹක් (Investment Portfolio) හෙවත් විවිධ නිෂ්පාදන අංශ නියෝජනය කරන මනා සුසංයෝගයකින් හෙබි සමාගම් කොටස් කළඹක් සකස් කර ගැනීමයි. විවිධ ව්‍යාපාර අංශයන් නියෝජනය කරන සමාගම් කිහිපයක ඔබගේ මුදල් යොදවන්නේ නම් ඉහත අප සාකච්ඡා කළ, සමාගමක් නොකඩවා ඉහළ හෝ පහළයාම බලාපොරොත්තු වීමේ ගැටලුවට සහ කොටස් මිල ගණන් පහළ යාමේ ගැටලුවට මුහුණ දීමට අවශ්‍ය නැත. එයට හේතුව යම් සමාගමක මිල ගණන් පහළ ගියද ආයෝජන කළඹෙහි ඇති අනෙකුත් සමාගම් කාර්ය සාධනය අතින් යහපත් බවක් පෙන්නුම් කරන්නේ නම් එයින් ආයෝජකයාට වන පාඩුව අවම වන නිසාය.
Q. අරමුදල් යම් කාලයක් රඳවා තැබීම අවශ්‍යමද?
ලොව කිසිම කොටස් වෙළෙඳ පොළක් කෙටි කාලීනව ප්රතිලාභ ලබාදෙන බවට සහතිකයක් ලබා නොදේ. කොටස් වෙළෙඳ පොළ යනු මධ්‍ය හෝ දිගුකාලීන ප්රතිලාභ ලබාදෙන ආයෝජන මාර්ගයකි. ඔබ යම් සමාගමක කොටස් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු අතර එතරම් වැදගත්කමක් නොමැති ලෙස පෙනන එහෙත් ඉහළ වැදගත්කමක් ඇති සාධකද පවතින බවද මතක තබාගත යුතුය.
එනම්, යම් සමාගමක් කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත වී ඉතා කෙටි කාලයක් විය හැකිය. ඒ අනුව, එම සමාගම ලැයිස්තුගත වීමේදී අරමුදල් රැස්කර ගනු ලැබූ හේතු සඳහන් කර තිබෙන අතර එම හේතු ප්‍රකාරව අරමුදල් අනාගත සංවර්ධනයන් සඳහා යොදවා ඇත්නම් එහි ප්‍රතිඵල ලැබීමට යම් කාලයක් ගත වේ. නමුත් සමහර ආයෝජකයන් එවැනි සමාගම් පිළිබඳව යම් යම් අවස්ථාවල වැරදි චිත්‍රයක් මවාපෑමට උත්සාහ කරන අතර එය වෙළෙඳ පොළ පැවැත්මට බාධාවකි. මේ නිසා කළ යුත්තේ එවැනි නව සමාගම් පිළිබඳව තේරුම් ගෙන ඉවසීමෙන් යුතුව වෙළෙඳ පොළ තුළ කටයුතු කිරීමය.
Q. කාර්ය සාධනය අතින් හොඳ සමාගමක කොටසක මිල පහළයා හැකිද?
කොටස් වෙළෙඳ පොළ තුළ සමහර සමාගම් ඉහළ කාර්ය සාධනයකින් යුතු අවස්ථාවක එහි කොටසක මිල පහළ ගිය බවක් ඔබට පෙනී ගියේ නම් ඒ පිළිබඳව ඔබ සොයා බැලිය යුතුය. මෙවැනි අවස්ථාවක් ඔබ නීරීක්ෂණය කර නොමැති විය හැකිය. එහෙත් එවැන්නක් සිදුවීමට හැකියාව ඇත. එනම් යම් සමාගමක් කොටස් විභේදනයක් (Sub division of Shares ) සිදුකර ඇත්නම් කොටස් විභේදනය කළ අනුපාතයට සමාගමේ කොටසක මිල පහළ වැටෙනු ඇත. එවැනි අවස්ථාවක් සමාගමක කාර්ය සාධනය පහළයාම නිසා සිදුවූවක් නොවේ. උදාහරණ ලෙස කොටසක මිල රු.1,000/- ක් වන සමාගමක් 1:10 අනුපාතයට කොටස් විභේදනයක් සිදුකළේ නම් එම සමාගමේ කොටසක මිල රු.100/- ක් බවට පත්වේ. නමුත් ආයෝජකයාගේ කොටස් සංඛ්‍යාවද 10ක් බවට පත්වේ. ඒ අනුව, සමාගම් කාර්ය සාධනය පහළයාමක් ඉන් සිදුවී නොමැත. ඉන් සිදුවිය හැක්කේ කාර්ය සාධනය ඉහළ යාමකි. කොටස්වල ද්‍රවශීලතාවය ඉහළයාම හරහා ගනුදෙනුවීමේ ඉඩකඩ වැඩිවේ.
Q. කොටස් ආයෝජනය සඳහා උපදෙස් අවශ්‍යමද?
එය තීරණය වන්නේ ආයෝජකයා අනුවය. ඊට හේතුව ආයෝජන උපදෙස් අවශ්‍යද නැද්ද යන්න ආයෝජකයාගෙන් ආයෝජකයාට වෙනස් වේ. සමහර ආයෝජකයන්ට ඉතා හසළ දැනුමක් කොටස් ආයෝජනය සම්බන්ධයෙන් ඇති අතර, සමහර ආයෝජකයන්ට එසේ නැත. එනමුදු, දැනුමක් ඇති ආයෝජකයන්ටද ආයෝජන උපදෙස් අවශ්‍ය නැතැයි යන්න කිව නොහැකිය. ඊට හේතුව කොපමණ දන්නා ආයෝජකයන් වුවද සමහර විට වැරදි ආයෝජන තිරණ ගෙන පාඩු විඳින අවස්ථාද ඇති නිසාය. ඒ අනුව, කොටස් ආයෝජනයෙහි ඇති අවදානම, ප්රතිලාභ, විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු තැන් මොනවාද, ඉහළ කාර්ය සාධනයක් සහිත සමාගම් මොනවාද යන්න පිළිබඳව තමන් සතුව ප්‍රමාණවත් තරම් දැනුමක් නොමැති නම්, ආයෝජන උපදෙස් ගෙන කොටස් ආයෝජනයෙහි නිරතවීම ප්‍රයෝජනවත් වේ.
Q. කොටස් වෙළෙඳ පොළ ආයෝජනය සඳහා ගිණුමක් ආරම්භ කිරීම අවශ්‍යමද?
කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කිරීම සඳහා බැංකුවක ආයෝජනය කිරීමට ගිණුමක් ආරම්භ කිරීම අවශ්‍ය වන්නා සේ කොටස් වෙළෙඳ පොළ තුළද ගිණුමක් ආරම්භ කිරීම අවශ්‍ය වේ. එහි එක් විශේෂත්වයක් වන්නේ මෙම ගිණුම තුළ දක්නට ඇත්තේ මුදල් නොව කොටස් වීමයි. තවත් විශේෂත්වයක් වන්නේ එය නොමිලේ ආරම්භ කරන ගිණුමක් වීමයි. එක් පුද්ගලයෙකුට ගිණුම් කිහිපයක් සහ තවත් පාර්ශ්වකරුවන් සමග වුවද ගිණුම් ආරම්භ කර ගත හැකිවීම එහි ඇති තවත් විශේෂතා කිහිපයකි.
Q. කොටස් ගිණුම් ආරම්භ කරන්නේ කුමන ආයතනයකද?
කොළඹ කොටස් හුවමාරුවේ සමාජික ආයතනවල මෙම ගිණුම් ආරම්භ කරයි. කොළඹ කොටස් හුවමාරුවේ සමාජික ආයතන යනු කොටස් තැරැව්කාර සමාගම්ය. මෙවැනි කොටස් තැරැව්කාර සමාගම් මේ වනවිට 34ක් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් බලපත්‍ර ලබා තිබේ.
මෙම කොටස් තැරැව්කාර සමාගම්වල ප්‍රධාන කාර්යාලයන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත වී ඇති අතර, දිවයිනේ අනෙකුත් නගරවලද ශාඛා කාර්යාල පවත්වා ගෙන යයි. සමහර කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතායතන කොළඹ කොටස් හුවමාරුවේ මාතර, මහනුවර, මීගමුව, කුරුණෑගල, යාපනය ඇතුළු අනෙකුත් ශාඛා කාර්යාල ආශ්රීතවද පවත්වාගෙන යනු ලබයි.
මෙවැනි ඕනෑම ස්ථානයකට ගොස් තමන් වෙනුවෙන් කොටස් ගිණුම් විවෘත කර ගැනීමේ හැකියාව ආයෝජකයන්ට ඇත.
Q. ගනුදෙනු නොකළහොත් කොටස් ගිණුම අවලංගු වෙනවාද?
කොටස් වෙළෙඳ පොළ ආයෝජනය සඳහා ආයෝජකයකු ගිණුමක් ආරම්භ කළ පසු එය අවලංගු වීමක් සිදු නොවේ. කොටස් වෙළෙඳ පොළහි ආයෝජනය කරන්නන් අතර සමහර විට දෛනිකව ගනුදෙනු කරන අය, කොටස් මිලදී ගෙන අවුරුදු කිහිපයක් රඳවා තබා තිබෙන අය දැකිය හැකිය. එසේම සමහර ආයෝජකයන්ගේ ගිණුම්වල කොටස් තිබෙන අතර, සමහර ගිණුම්වල කොටස් දක්නට නොමැත. මේ කුමන ආකාරයක ගිණුමක් වුවද අහෝසි වීමක් සිදු නොවේ.
Q. කොටස් ගිණුම හැඳින්වීම සඳහා තවත් නම් භාවිත කරනවාද?
කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කරන්නන්ගේ ගිණුම් ආරම්භ කරන්නේ මධ්‍යම තැන්පතු ක්‍රමය නමැති කොළඹ කොටස් හුවමාරුව යටතේ ඇති එහි උප සමාගම තුළය. කොළඹ කොටස් හුවමාරුවේ දැනට ගනුදෙනු කරන්නන්ගේ කොටස්වලට ආරක්ෂාවක් සැපයීම හා කොටස් බේරුම්කරණය යන සේවාවාන් එහි ප්‍රධාන කාර්යයන්ය. මේ නිසා කොටස් ගිණුම මධ්‍යම තැන්පතු ක්‍රම ගිණුම යන්නෙන්ද හඳුන්වයි. සමහර ආයෝජකයන් CDS ගිණුම යනුවෙන්ද ව්‍යවහාර කරයි.
කොළඹ කොටස් හුවමාරුව තුළ ගනුදෙනු වන්නේ කොටස් පමණක් නොවේ. එහි කොටස්වලට අමතරව සමාගම් ණයකර, ඒකකභාර ඇතුළු අනෙකුත් ආයෝජන උපකරණද ගනුදෙනු වෙයි. මේ සියල්ලටම පොදුවේ භාවිත කරන නමක් වන්නේ සුරැකුම්පත්ය. ඒ අනුව, ගත්විට මෙම කොටස් ගිණුම සුරැකුම්පත් ගිණුම යනුවෙන්ද හඳුන්වයි. එය කොටස් ගිණුමක් ආරම්භ කිරීම සඳහා වන අයදුම්පතේද සඳහන් වෙයි. ඉංග්‍රීසි භාෂාවෙන් කොටස් ගිණුමක් ආරම්භ කිරීම සඳහා වන අයදුම්පතේ සඳහන් වන්නේද Securities Account යනුවෙනි.
Q. කොටස් ගනුදෙනුවක් සිදු වූ බව තහවුරු කර ගන්නේ කෙසේද?
ගනුදෙනුවක් සිදු වූ පසු ඒ පිළිබඳව දැනගත හැකිවන්නේ ගැණුම් කුවිතාන්සියක් (Bought Note) සහ විකිණීමක් සිදුකළේ නම් ඒ බව විකුණුම් කුවිතාන්සියක් (Sold Note) මගිනි. මෙය ගනුදෙනුව සිදු වූ දිනට පසු දින ලැබීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.
අද වනවිට කොළඹ කොටස් හුවමාරුව නවීන තාක්ෂණය යොදා ගනිමින් වඩාත් හොඳ සේවාවක් තම ගනුදෙනුකරුවන්ට ලබාදීමේ අරමුණින් මෙම ගනුදෙනු තොරතුරු ක්ෂණිකව ලබාදීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව කෙටි පණිවිඩ ක්‍රමයක් (SMS) ඔස්සේ ගනුදෙනුවේ විස්තර ලබාදීමට කටයුතු සලසා ඇත. ඒ සඳහා ලියාපදිංචි වන්නන්ට තම කොටස් ගනුදෙනුවේ විස්තර ක්ෂණිව ලබාගැනීමට හැකියාව ලැබී ඇත.
මධ්‍යම තැන්පතු ක්‍රමයෙන් ලැබෙන ගිණුම් වාර්තා මගින්ද ආයෝජකයෙකුට මෙම කොටස් ගනුදෙනු විස්තර දැනගැනීමට හැකියාව ඇත. එමෙන්ම, තම කොටස් තරැව්කාර ආයතනය සමග ඍජුව සම්බන්ධ වීමෙන්ද ගනුදෙනුව පිළිබඳ විස්තර දැනගැනීමට හැකියාව ඇත.
Q. මූලික කොටස් නිකුතුවක් යනු කුමක්ද?
සමාගමක් අලුතින් මහජනතාවට කරන කොටස් නිකුතුවක් හෙවත් ප්‍රථම වරට සිදුකරන කොටස් නිකුතුවක් ඉන් අදහස් කරයි. සමාගමක් තම අනාගත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්රාග්ධනය සම්පාදනය කර ගැනීමේ අපේක්ෂාවෙන් මෙසේ කොටස් නිකුත් කරනු ඇත.
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගතවිමේ නීති සම්පූර්ණ කරමින් සමාගමකට මෙසේ කොටස් නිකුත් කර ලැයිස්තුගත වීමට ඉඩ සලසා ඇත. මෙහිදී ආයෝජකයන්ට සමාගම තීරණය කර ඇති මිල ගණන් යටතේ කොටස් ඉල්ලා සිටීමට හැකිය.
Q. මූලික කොටස් නිකුතුවෙන් ගත් කොටස් මුදල් කර ගන්නේ කෙසේද?
ඇතැම් ආයෝජකයන්ට මූලික කොටස් නිකුතුවකින් ගත් තම කොටස් මුදල් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඇති දැනුම ඉතා අල්පය. මූලික කොටස් නිකුතුවක් සිදුකළ සමාගමක් එම සමාගම කොටස් වෙළෙඳ පොළ තුළ ගනුදෙනුවීම ආරම්භ කරන තෙක් බලා සිටිය යුතු වේ. එය එතරම් දිගු කාලයක් නොවේ. කොටස් නිකුත් කිරීම ආරම්භ කර සති දෙකක් හෝ තුනක් පමණ යන විට එය කොටස් වෙළෙඳ පොළ තුළින් විකුණා ගැනීමට ආයෝජකයාට අවස්ථාව ඇත. එභෙත් එය විකුණනවාද නැද්ද යන්න තීරණය වන්නේ ආයෝජකයාගේ අවශ්‍යතාව අනුවය. ඊට හේතුව සමහර ආයෝජකයන් සමාගම් කොටස් මිලදී ගන්නේ වසර කිහිපයක් යනතුරු රඳවා තබා ගැනීමේ අපේක්ෂාවෙන් වන නිසාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd