කොකා-කෝලා නිෂ්පාදනයන්හි අන්තර්ගත ද්‍රව්‍ය එකිනෙකින් වෙන්වීම වලක්වමින්, එහි ස්ථායීතාවය ඉහළ නැංවීම සඳහා බ්රෝමනීකරණය කරනලද එළවළු තෙල් (BVO) ලොව විවිධ ස්ථානවල ඇති ඔවුන්ගේ ඇතැම් නිෂ්පාදන සඳහා යොදාගෙන ඇති බවත්, එම එළවළු තෙල් අන්තර්ගත නිෂ්පාදන ඇතුළු ඔවුන්ගේ සියලුම නිෂ්පාදන සෑම අවස්ථාවකදීම සුරක්ෂිත වන අතර, එම නිෂ්පාදන අළෙවි කෙරෙන රටවල අදාළ නීති රෙගුලාසිවලටද සම්පූර්ණයෙන්ම අනුකූල බවත් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කොකා-කෝලා සමාගම බ්රෝමනීකරණය කරන ලද එළවළු තෙල් තම නිෂ්පාදනයන්ගෙන් ඉවත්කර ගන්නා බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව, එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඉදිරි මාසවලදී කොකාකෝලා සමාගම බ්රෝමනීකරණය කරන ලද එළවළු තෙල් වෙනුවට Sucrose Acetate Isobutyrate (SAIB) සහ/හෝ Glycerol Ester of Rosin (තනිව හෝ සංයෝග වශයෙන්) භාවිතයට යොමු වීමට නියමිත බවයි. Glycerol Ester of Rosin බහුල වශයෙන් චුවින්ගම් සහ බීම වර්ගවල අන්තර්ගත වන බවත්, SAIB වසර 14කට වැඩි කාලයක් පුරා බීම නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇති බවත් එහි කියැවෙයි.
ජාත්‍යන්තර වශයෙන් සිදු කෙරෙන මාරු කිරීම සිසිල් බීම වර්ගවල සිට නිෂ්පාදන යන්ත්‍ර දක්වා සිදු කෙරෙන අතර, එමගින් අප ලොව පුරා නිෂ්පාදන සඳහා යොදාගන්නා ද්‍රව්‍ය එලෙසින්ම භාවිත කිරීමට අවකාශ ලැබෙනු ඇති බවද එහි පෙන්වා දෙයි.
එයින් අදහස් වන්නේ ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ කිසිදු නිෂ්පාදනයක බ්රෝමනීකරණය කරන ලද එළවළු තෙල් අන්තර්ගත නොවන බව යැයිද එම නිවේදනයේ දැක්වෙයි.
ඇමරිකා එක්සත් ජනපදයේ, පවරේඩ් ෆෘට් පන්ච් සහ පවරේඩ් ස්ට්‍රෝබෙරි ලෙමනේඩ් නිෂ්පාදනය සඳහා මේ වනවිට Glycerol Ester of Rosin භාවිතය ආරම්භ වී ඇති බවත්, මේ වසර අවසාන වනවිට ඇමරිකාව පුරා ඔවුන්ගේ සියලු නිෂ්පාදන සඳහා මෙය භාවිත කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.