ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ එක් වැදගත් සක්‍රීය අංශයක් වන කෘෂිකර්මාන්තය නැංවීම වෙනුවෙන්, 'වර්තමානය හා අනාගත කෘෂිකර්මය උදෙසා තාක්ෂණ නවෝත්පාදන' මැයෙන් සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් පසුගිය අගෝස්තු 22දා එම මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වා තිබේ. මේ සඳහා සම්පත් දායකත්වය අන්තර්ජාතික කෘෂිකර්මය සඳහා වන කොරියානු වැඩසටහන (KOPIA) හා කොරියානු සහයෝගිතාවය සඳහා නියෝජිත ආයතන (KOIKA) ලබාදී ඇති අතර, කෘෂි ක්ෂේත්රයට සම්බන්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනවල නිලධාරීන් හා ක්ෂේත්රය පිළිබඳ උනන්දුවක් දැක්වූවන් සම්මන්ත්‍රණයට සහභාගී වී තිබේ.
කොයිකා ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ලී ඩොන් මහතා සම්මන්ත්‍රණය ආරම්භ කරමින් අදහස් දැක්වූ අතර එහිදී අපනයන සංවර්ධන මණ්ඩලය දක්වන සහයෝගය පිළිබඳව සිය ස්තූතිය පළ කිරීමටද ඔහු කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය සඳහා ඔවුන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ කෙටි හැඳින්වීමක් කිරීමෙන් අනතුරුව ප්‍රධාන දේශනය කොපියා ආයතනයේ ශ්‍රී ලංකා අධ්යක්ෂ ධුරය හොබවන ආචාර්ය හූ චෝයි මහතා විසින් සිදුකර තිබේ.
මෙහිදී වර්තමාන කෘෂිකර්මය සඳහා යොදාගනු ලබන ශ්‍රී ලාංකේය තාක්ෂණය හා කොරියානුවන් යොදාගනු ලබන තාක්ෂණය ශ්‍රී ලංකාවට යොදාගත හැකිවන්නේ කෙසේද යන්න ඔහු විසින් පෙන්වාදී තිබේ. ඔහුගේ දේශනය මූලික කරුණු තුනක් ඔස්සේ පැහැදිලි කර ඇති අතර, ශ්‍රී ලාකේය කෘෂිකර්මය සඳහා කොරියානු සහයෝගීතාවය, අපනයන කෘෂිකර්මාන්තයේ අවශ්‍යතාව හා ඒ සඳහා නිවැරිදි තාක්ෂණය ආදිය එහිදී මූලික වී ඇත. කෘෂිඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා භාවිත කරනු ලබන නවමු තාක්ෂණය, පොහොර කළමනාකරණය, පාංශු පරික්ෂාව, රෝග හඳුනා ගැන්ම, අස්වනු ගබඩාකරණය හා ගෙවතු වගාව පිළිබඳ කරුණු පිළිබඳවද මෙහිදී අවධානය කර තිබේ. එමෙන්ම අල වගාව, ලූණු වගාව හා බිම්මල් වගාව පිළිබඳවද සිය ආයතනය මගින් සිදුකරන ලද පර්යේෂණ ඔස්සේ අනාවරණය කරගත් කරුණු මෙහිදී ගෙනහැර දක්වා ඇති අතර, නිවැරිදි ලෙස අල, ලූණු හා බිම්මල් වගාකරනු ලබන ක්‍රමවේද හා අස්වැන්න වැඩිකර ගතහැකි ක්‍රමවේද මෙහිදී පෙන්වා දී තිබේ.
කොයිකා ආයතනය ලෝකයේ රටවල් 20ක පමණ දැනට ව්‍යාප්තව ඇති අතර ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය ඉහළ නාංවීම සඳහා ඔවුන් විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවා ඇති බවද පෙන්වා දෙයි. තවද තෝරාගත් ගම්මාන සඳහා අල, ලූණු, බිම්මල්, ස්වභාවික සහල් මෙන්ම පලතුරු වැනි දෑ නවමු තාක්ෂණය සමග ගොවියාට හඳුන්වාදෙමින් අපනයන කෘෂිකර්මය දක්වා අස්වනු ඉහළ නැංවීම සඳහා කොයිකා කොපියා සහයෝගිතාවය යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන බවද පෙන්වා දෙයි. තවද, ඉහත බෝග සඳහා කොරියාවේ ඉහළ ඉල්ලුමක් ඇති බවටද මෙහිදී ශ්‍රී ලාංකේය ගොවි ප්‍රජාව දැනුම්වත් කර තිබේ.