ශ්‍රී ලංකාවේ ආයෝජන ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව අමෙරිකානු අපනයන ආනයන බැංකුව හෙවත් එක්සීම් බැංකුවේ සභාපති ෆ්‍රෙඩ් පී. හොච්බර්ග් මහතා පැවසූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සමග පසුගිය 04 වැනිදා මුදල් අමාත්‍යාංශයේ පැවති හමුවකදී හොච්බර්ග් මහතා මෙසේ අදහස් දක්වා ඇත.
එහිදී, හොච්බර්ග් මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් ගමනක් අරඹා ඇති බවයි. එබැවින් මෙරට නිෂ්පාදන අංශයේ ආයෝජන කටයුතු සඳහා සහාය ලබාදීමට සූදානම් යැයි ඔහු සඳහන් කළ බවද මුදල් අමාත්‍යාංශය පවසයි.
එක්සීම් බැංකුවේ සභාපතිවරයකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ වසර ගණනාවකින් වීම විශේෂත්වයක් බවත්, මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කෙෂාප් මහතාද එක්ව සිටි බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.