උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් ලබාදී අවසන් කිරීමට මධ්‍යම රජයට පළාත් සභාවල සහයෝගය සහ මැදිහත්වීම් අත්‍යවශ්‍ය බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
කොළඹ සංවර්ධන පරිපාලන ආයතනයේ පැවති දිසාපති සමුළුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.
“උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගෙන ඔවුන් 41,000ක් විතර අපි දැන් ස්ථිර කරලා තියෙනවා. ඇතැම් පළාත් සභා, උපාධිධාරී වැඩසටහන සාර්ථකව අවසන් කරගැනීමේ වගකීම මධ්‍යම රජයේ වැඩක් කියලා අවශ්‍ය සහයෝගය ලබාදීම මගහරිමින් කටයුතු කරනවා. එසේ නොවන්නට අද සියලුම උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් ලබා දීලා. ජනාධිපතිවරයා උපාධිධාරීන් සඳහා රාජ්‍ය සේවයේ දොරටු විවර කළේ මධ්‍යම රජයට විතරක් නොවෙයි. සමස්ත රාජ්‍ය සේවය වෙනුවෙන්මයි. එම නිසා මෙම වැඩපිළිවෙළින් බැහැරවන්න පළාත් සභාවලට බැහැ” යනුවෙන් අමාත්‍යවරයා පවසා ඇත.
දිසාපති සමුළුවේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස උතුරු නැගෙනහිර පළාත්වල අතිරික්ත දමිළ උපාධිධාරින් පිරිසක් සබරගමු පළාතේ වතු පාසල්වල ගුරුවරන් ලෙස බඳවා ගැනීමට සබරගමු පළාත් ලේකම්වරයා එකඟතාව පළ කරන ලදැයි පැවසේ.
මධ්‍යම රජය යටතේ ඇති අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු 138කට මේ වනවිට ස්ථිර පත්වීම් ලබාදී ඇති උපාධිධාරීන් සංඛ්‍යාව 40,564 කි. වැඩිම උපාධිධාරීන් පිරිසක් සඳහා ස්ථිර පත්වීම් ලබාඇත්තේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙනි. එය සංඛ්‍යාත්මකව 16,680 කි. මීට අමතරව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයට 2,125ක්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට 1,699ක්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට 1,530ක්, කෘෂිකර්ම අමාත්‍යංශයට 1,151ක් , අධ්‍යාපන අමාත්‍යංශයට 879ක් වශයෙන් ස්ථිර පත්වීම් ලිපි මේ වනවිට ලබාදී ඇති බව පැවසේ.
කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පුරප්පාඩු 500ක් පමණ ඇති බවත්, පුරප්පාඩු පවතින අනිකුත් දිස්ත්‍රික්කයන් සඳහා ඉතිරි උපාධිධාරීන් වහාම අනුයුක්ත කොට වැඩසටහන අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සහ පළාත් සභා ලේකම්වරුන්ගෙන් අමාත්‍යවරයා එහිදී ඉල්ලා තිබේ.
මෙම දිසාපති සමුළුවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් පී. බී. අබේකොන් මහතා, සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, පළාත් සභා ප්‍රධාන ලේකම්වරු ඇතුළු නිලධාරීහු රැසක් සහභාගී වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.