ඉන්දු - ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ භාණ්ඩ අපනයනයේදී, ඉන්දියාවේ යම් යම් ප්‍රාන්ත රාජ්‍යයන්වලදී ලාංකික සමාගම්වලට මුහුණ පෑමට සිදුවන ගැටලු විසඳා ගැනීමට අන්‍යෝන්‍ය සම්මුතියක් ඇති කිරීමට විධිවිධාන යොදන බව ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් අරින්දම් බක්චි මහතා පැවසීය.
නියෝජ්‍ය මහකොමසාරිස්වරයා මෙසේ පවසා සිටියේ, ඉන්දු - ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අරමුණින්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග පසුගියදා එම අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදීය.
"මාගේ අමාත්‍යංශය ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ හා මධ්‍යම රජයේ සහාය ඇතිව, දෙරට අතර වෙළෙඳ ගනුදෙනු පුඵල් කරගැනීම සඳහා ඉතා උද්යෝගයෙන් කටයුතු කරනවා. පසුගියදා කොළඔදී පැවති ඒකාබද්ධ කාර්ය සාධන බලමණ්ඩලයේදී ගත් තීරණ ක්‍රියාත්මක කිරීමට හැකිවේ යැයි ද මා විශ්වාස කරනවා. දැනට මූලිකව අවශ්‍ය වී ඇත්තේ භාණ්ඩ හා සේවාවන් පිළිබඳ අන්‍යෝන්‍ය පිළිගැනීම් සම්මුතියක්. මෙවන් සම්මුතියකින් අපනයනවල ප්රමිතීන් හා තත්ත්ව පරීක්ෂාවන් පිළිබඳව එකඟතාවක් ඇති වෙනවා. එවැනි සම්මුතියක් නොමැති හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට ඉන්දියානු වෙළෙඳ පොළ තුළ ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව තිබෙනවා. නිදහස් වෙළෙඳ ගිවිසුමේ උපරිම ප්‍රයෝජනය ලබාගැනීම සඳහා දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් ගොඩනැගිය යුතුයි "යනුවෙන් අමාත්‍ය බදියුදීන් මහතා මෙහිදී පැවසීය.
ඉන්දු - ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් පසුව පැවති ද්විපාර්ශ්වික භාණ්ඩ වපසරියට නව භාණ්ඩ සමූහයක් අනතර්ගත කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ බැව් කියා සිටි අමාත්‍යවරයා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළෙඳ ගනුදෙනු 2013 වර්ෂයේදී ඇ.ඩො. බිලියන 3.636ක් දක්වා ප්‍රවර්ධනය වී ඇති බවද සඳහන් කළේය.