2018 අයවැයෙන් මෙරට සංවර්ධන ක්‍රියාවලිය සඳහා පෞද්ගලික අංශය සවිබලගැන්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව මුදල් හා ජනමාද්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ලෝක බැංකුවේ අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතා ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්යක්ෂ මෙන්ගට්සු අල්මයේහු මහතා සමග පැවැති සාකච්ඡාවකදීය. මෙම හමුව අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැත්වුණු බව එම අමාත්‍යාංශය කියයි.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් කරුණු කෙරෙහි අවධානය යොමුකෙරුණු බවත්, රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ක්‍රමවේදය මගින් පෞද්ගලික අංශය බලාත්මක කිරීම, දේශීය ආදායම් පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධ්යක්ෂවරයා දැනුම්වත් කළ බවත් සඳහන් වේ.
මෙම ආයතනය මගින් ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයන්හි තිරසාර වර්ධනය වෙනුවෙන් මූල්‍ය සහ පුහුණු අවස්ථා සලසා දීමද විශේෂත්වයක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීම වෙනුවෙන් අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතා ආයතනය ලබාදෙන සහාය අගය කළ මංගල සමරවීර මහතා, රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ක්‍රමවේදය යටතේ සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ මැදිහත් වීමට රජය ප්‍රමුඛත්වය ලබාදී ඇතැයි ද පවසා සිටියේය.
පෞද්ගලික අංශය සම්බන්ධයෙන් කටයුතු කරන ලෝක බැංකු ආයතනයක් වන අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතා ආයතනය, ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල් 100ක පමණ ක්‍රියාත්මක වෙමින් උගත් පාඩම් පාදක කරගනිමින් එක් එක් රටවල සංවර්ධන ගැටලු විසඳීම සඳහා මැදිහත් වෙමින් සිටියි. 1956 වසරේ එහි ආරම්භයේදීම ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතා ආයතනයේ සාමාජිකත්වය ලබාගත් අතර, මේ දක්වා කාලය තුළ ඇ.ඩො. බිලියන 1.3ක දායකත්වයක් රට වෙනුවෙන් එම ආයතනයෙන් ලැබී ඇති බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, මුදල් අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේක මනෝ තිත්තවැල්ල, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල, අතිරේක අධ්යක්ෂ ජනරාල් අජිත් අබේසේකර සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ හේමන්ත පුබුදුසිරි යන මහත්වරු එක්ව සිටියහ. එමෙන්ම, අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතා ආයතනය වෙනුවෙන් ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින් අධ්යක්ෂ අයිඩා රිඩ්ඩිහවු සහ මූල්‍ය ආයතනයේ කලාපීය කළමනාකාරිනී අමෙනා අරීෆ් යන මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.