දේශීය තොරතුරු තාක්ෂණ මෘදුකාංග අන්තර්ගතයන් හා නිමැවුම් ජාතික වශයෙන් අගය කිරීම වෙනුවෙන් පැවැත්වෙන ඉ-ස්වාභිමානී 2016 ඉ-සමාජ විශිෂ්ටතා සම්මාන ප්රදානය එළැඹෙන 31දා කොළඹදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම සම්මාන ප්රදානෝත්සවය 06 වැනි වරටත් සංවිධානය කරනු ලබයි.
විදුලිසංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එදින ප.ව. 6.00 ට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මෙම සම්මාන ප්රදානය ආරම්භ වීමට නියමිතය.
ඉ-ස්වාභිමානී 2016 ඉ-සමාජ විශිෂ්ටතා සම්මාන ප්රදානය සඳහා නාමයෝජනා රැසක් මෙවරද ලැබී තිබූ බවත්, දෙස් විදෙස් තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසින් අවසන් වටය සඳහා තෝරාගන්නාලද නිර්මාණ 42ක් මෙහිදී සම්මානයෙන් පිදුම් ලබන බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
ඉ-රාජ්‍ය හා විවෘත දත්ත, ඉ-සෞඛ්‍ය හා පරිසරය, ඉ-ඉගෙනුම් හා විද්‍යා, ඉ-විනෝදාස්වාදය හා ජීවන රටාව, ඉ-සංස්කෘතික හා සංචාරක ව්‍යාපාරය, ඉ-මාධ්‍ය හා ප්රවෘත්ති, ඉ-ව්‍යාපාර හා වානිජ්‍ය, ඉ-අන්තර්කරණය හා සවිබල ගැන්වීම, ජංගම දුරකථන සඳහා අන්තර්ගතයන් යන ක්ෂේත්‍ර යටතේ තරග කරුවන් සිය නිර්මාණ ඉදිරිපත් කර ඇති බවද නියෝජිතායතනය පෙන්වා දෙයි.
මෙම සම්මාන ප්‍රදානයට පාත්‍ර වන නිර්මාණකරුවන්ට ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්රදානෝත්සවය නියෝජනය කිරීමේ අවස්ථාවද උදාවන බව නියෝජිතායතනය සඳහන් කරයි. එහිදී, www.eswabhimani.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකි බවද ඔවුහු පවසති.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති චිත්‍රාංගනී මුබාරක්, නියෝජිතායතනයේ කළමනාකාර අධ්යක්ෂ මුහුන්දන් කනගි, අමාත්‍යංශ ලේකම් වසන්ත දේශප්‍රිය යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිත බවද නියෝජිතායතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.