පසුගිය රජය යටතේ මෙරට ණයබරතාව ඉහළ ගොස් ඇති බවත්, ඒ හේතුවෙන් රට ණය උගුලක හිරවී ඇති බවත් පැවසූ වත්මන් අගමැතිවරයා සිය වසර තුනක පාලනය තුළදී රටේ බාහිර ණය ප්‍රමාණය ඩොලර් බිලියන 10කින් වැඩි කර ඇතැයි මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
දේශප්‍රේමී වෘත්තිකයන්ගේ සංසදය මගින් ඊයේ (03දා) සංවිධානය කළ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතාද සහභාගි වූ මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ කබ්රාල් මහතා 2014දී සමස්ත රටෙහිම පැවැති බාහිර ණය ප්‍රමාණය වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 42.9 අද වනවිට ඩොලර් බිලියන 51.8 දක්වා ඉහළ ගොස් ඇති බවත් පවසා සිටියේය.
"2014දී රටේ සමස්ත ණයබරතාව දළ දේශීය නිෂ්පාදිතයෙන් 71% ක තමයි තිබුණේ. අද වෙන කොට එය 76.6% ක් වෙලා. ඒ අවස්ථාවේදී අගමැතිවරයා කිව්වේ රට ණය උගුලක ඉන්නවා කියලයි. දැන් ඒක 77% වුණාම රට ණය උගුලක නෙමේද තියෙන්නේ. රට එතැන්ට ගෙනිච්චේ කවුද? ඒ වගේම තමයි මේ ණයට ගෙවන පොලිය. 2014දී එය බිලියන 443ක්. අද වෙන කොට පොලිය විදියට බිලියන 736ක් ගෙවනවා."
දෙපළ විසින් මෙහිදී රටෙහි වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ මෙහිදී කරුණු 77ක් ඉදිරිපත් කළ අතර, ඒ සඳහා තොරතුරු ලබා ගැනීම 2014 සිට 2017 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්ෂික වාර්තාවල අඩංගු දත්ත භාවිත කළ බවද අනාවරණය කෙරිණි.
මේ අතරම රුපියල අවප්‍රමාණය වීම නිසා රටෙහි ණය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පැවසූ හිටපු අධිපතිවරයා, රටෙහි ණයබරතාව රුපියල් මිලියන 185කින් වැඩිවී ඇතැයි 2015 මහ බැංකුවේ වාර්තාව තුළදීද පෙන්වාදී ඇතැයිද සඳහන් කළේය. එසේම 2016 වාර්තාව මගින් එය මිලියන 186ක් ලෙස සටහන් වන බවත්, 2017 වාර්තාව තුළ එම ඉහළ ගිය ණයබරතාව රුපියල් මිලියන 225ක් බවත් සඳහන් බව කියා සිටියේය. ඒ අනුව පසුගිය වසර අවසන් වන විට මේ සමස්ත ණයබරතාවේ ඉහළ යාම රුපියල් මිලියන 696කි.
"මේ ඉහළ ගිය ණය මුදලින් විතරක් අපිට තව හම්බන්තොට වරායවල් හයක් ඉදිකරන්න තිබුණා. කවුද මේවාට වගකියන්නේ. මේ වසරේ මුල් මාස හතරේදී විතරක් රුපියල අවප්‍රමාණය වීම නිසා රුපියල් මිලියන 136කින් රටේ ණය බර වැඩිවෙලා තියෙනවා. මේ සියල්ලගේම එකතුව රුපියල් මිලියන 836ක්. ඒත් 2017දී සියලුම වැට් බදු සහ ආදායම් බදු හරහා ලැබුණු ආදායමත් රුපියල් මිලියන 716ක්."
මීට අමතරව 2014 වසරේදී රජය යටිතල පහසුකම් සංවර්ධන සඳහා සිදු කළ රුපියල් බිලියන 442ට සාපේක්ෂව 2017 වසරේදී රුපියල් බිලියන 609ක ආයෝජන සිදුකර ඇතත්, ඇසට පෙනෙන සංවර්ධනයක් රට තුළ සිදුව නොමැති බවද හිටපු අධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. එසේම තෙල් බැරලයක මිල ඩොලර් 99.68ක් ලෙස පැවැති 2014 වසරේදී රුපියල් බිලියන 1.5කින් ලාභ ලැබූ ඉන්ධන සංස්ථාව, වර්තමානයේදී තෙල් බැරලයක මිල ඩොලර් 54.76ක් ලෙස පවතිද්දී ලබා ගෙන ඇත්තේ රුපියල් බිලියන 5.1ක ලාභයක් පමණක් බවද ඔහු පෙන්වා දෙයි.
"විදුලි බල මණ්ඩලය ගත්තොත් 2014 අවුරුද්දේදී එහි පාඩුව රුපියල් බිලියන 14.6ක් වෙන කොට ගොඩක් දෙනෙක් ඒ ගැන කෑගැහුවා. ඒත් පසුගියදා නිකුත් කරපු 2017 මහ බැංකු වාර්තාව තුළ මේ පාඩුව රුපියල් බිලියන 45.7ක් වෙලා තිබෙනවා."
මීට අමතරව 2016 මහ බැංකු වාර්තාවේ සඳහන් වන ආකාරයට එම වසරේදී මෙරට ආර්ථික වර්ධනය 4.4%ක් ලෙස සටහන් වුවද එහි සැබෑ අගය 2.2% ක් වන බව කබ්රාල් මහතා සඳහන් කළේය. ඒ අනුව මහ බැංකු වාර්තාව පුරාවටම අසාමාන්‍ය හා සැකකටයුතු ආකාරයට දත්ත වෙනස් කිරීමේ උත්සාහයන්ද දක්නට ලැබෙන බව පවසන ඒ මහතා, මෙය සත්‍ය සඟවා රජයට වාසිදායක ආකාරයට ආර්ථික දත්ත හා දර්ශක ඉදිරිපත් කිරීමේ උත්සාහයක් විය හැකි බවද පවසා සිටියේය.
"මෙතැනදී වඩාත් වැදගත්ම කරුණ දමයි දළ දේශීය නිෂ්පාදකයේ අවධමනක අගය. මෙය සෑම වසරකදීම වගේ වෙනස් කරලා තියෙනවා. 2014දී එය මුලින්ම 5.1%ක් කියලා ඊට පස්සේ 2015 වාර්තාවෙන් 3.9% යි කියලා කියනවා. 2016 වාර්තාවෙන් එය 2.9%ක් කියලා කියනවා. ඊට පස්සේ 2015දී 2014 අගය ආයිත් වෙනස් වෙනවා 2.1%ක් විදියට. ඒ වගේම 2016 වාර්තාවෙන් එය 0.8%ක් කරනවා. අන්තිමේදී 2017 වාර්තාවෙන් එය 0.6%ක් කියනවා. මේ දළ දේශීය නිෂ්පාදකයේ අවධමනකයේ අගය මෙහෙම සෙල්ලම් කරන්න ඕන දෙයක් නෙමෙයි. මෙය රටේ වර්ධන වේගය එහා මෙහා කරන්න පුළුවන් අගයක්. මේ අවුරුද්දේ ඒ අගය 8.2% කියනවා. ලබන අවුරුද්දේදී කොහොම වෙයිද දන්නේ නෑ."
මේ අතරම රටෙහි ඒක පුද්ගල ආදායමද මේ ආකාරයට විටින් විට වෙනස් කර ඇති බවක්ද පසුගිය මහ බැංකු වාර්තා සියල්ලම විශ්ලේෂණය කළ විට පැහැදිලි වන්නේ යැයිද ඒ මහතා සඳහන් කරයි.
මෙහිදී අදහස් දැක්වූ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා, මාස 36ක් තුළ එකිනෙකට වෙනස් ආර්ථික ප්‍රතිපත්ති 9ක් ඉදිරිපත් කළ, සිවු වතාවක් කැබිනට් මණ්ඩල සංශෝධන සිදුකළ රජයකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බවද පවසා සිටියේය.
"පසුගිය රජයේ අවසන් වසර 3 තුළදී රටේ දළ වර්ධන වේගය 7%ක මට්ටම ආසන්න වෙලා තිබුණේ. ඒත් 2015 ඉඳන් එය 5%ට, 4.5% සහ පසුගිය වසරේදී 3.1%ට අඩු වුණා. එය 2001 වසරට පසුව අත්කරගත් අඩුම වර්ධන වේගයයි. ඒ වගේම තමයි උද්ධමනය 8%කට ආසන්න වුණා. 2014 තිබුණාට වඩා රුපියලේ අගය අද වෙන කොට 19%කින් අවප්‍රමාණය වෙලා තියෙනවා."
මෙලෙස උද්ධමනය ඉහළ ගොස් ආර්ථිකයේ කඩාවැටීම සඳහා මූලිකවම බලපෑ අංශයක් වූයේ කෘෂිකර්මය බව පවසන ගොඩහේවා මහතා, වත්මන් රජය කෘෂිකර්මාන්තයට සිදුකළ අවමන් කිරීමත් හේතු වූ බව පවසා සිටියේය.
"රටේ මේ ආර්ථික අර්බුදය අවස්ථාවේදී කාලගුණය අස්සේ හැංගිලා, කාලගුණයට දොස් කියමින් කෘෂිකර්මාන්තයේ අගතිය ගැන කියන්න ඔවුන් උත්සාහ කරනවා. පොහොර සහනාධාරය කැපුවා. රසායනික පොහොර තහනම් කළා. කෘෂිකර්ම අගමැතිවරයා වගා කරන බිම් වැඩියි කිව්වා. ඒ සියල්ල නිසා 2016දී කෘෂිකර්මාන්තය 3.8%කිනුත්, 2017දී තවත් 0.8%කින් කඩාවැටුණා. 2016/17 මහ සහ 2017 යල කන්න දෙකෙහිම වී නිෂ්පාදනය 49.2%කින් සහ 40.1%කින් පහළ වැටුණා. මෙට්‍රික් ටොන් මිලියන 1.7ක් වුණ මේ වී නිෂ්පාදනය ප්‍රමාණවත් වුණේ මාස අටක පරිභෝජනයට පමණයි."
මේ අතරම 2014 වසරේදී මෙරට දළ ජාතික නිෂ්පාදනයෙන් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වෙන් කළ ප්‍රතිශතය වූ 1.9% සහ 1.5% තවමත් එලෙසින්ම පවතින බවත්, පොරොන්දු වූ 6% සහ 3% තවමත් ලැබී නැතැයිද ඒ මහතා මෙහිදී සඳහන් කළේය. එහෙත් 2014 වසරට සාපේක්ෂව 2017 වසරේදී රජය රුපියල් බිලියන 620කින් සිය බදු ආදායම වැඩි කරගෙන ඇතැයිද ඔහු පවසා සිටියේය.
"මෙය අතිවිශාල මුදලක්. හැබැයි එය පසුගිය රජය යටතේ සිදුකළ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක් සඳහාම ගිය වියදම්වල එකතුවට ආසන්නයි. උදාහරණ විදියට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට රුපියල් බිලියන 50යි, කොළඹ -ගාල්ල මාර්ගයට රුපියල් බිලියන 96යි, ගාල්ල - මාතර මාර්ගයට බිලියන 20යි, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට බිලියන 117යි, හම්බන්තොට වරායට බිලියන 143යි, මත්තල ගුවන්තොටුපොළට බිලියන 31යි. මේ සියල්ලගේම එකතුව බිලියන 458යි" යනුවෙන්ද ඒ මහතා පැවසීය.
එසේම 2017 වසර ශ්‍රී ලංකාවට ඉහළම විදේශ ආයෝජන ගලා ආ වසර ලෙස ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සහ මහ බැංකුව ප්‍රකාශ කර තිබුණද, ඉන් බහුතරය පසුගිය රජය සමයේ අනුමත වූ ව්‍යාපෘතිවලට අදාළව පැමිණෙමින් තිබෙන ආයෝජන බවද ගොඩහේවා මහතා මෙහිදී සඳහන් කළේය. ඒ අනුව රජය පවසන ඩොලර් මිලියන 1,710 ක විදේශ ආයෝජන පැමිණීම් තුළින් මිලියන 17ක් පමණක් මේ රජය යටතේ පැමිණි ආයෝජන වන බවත් ඔහු පවසයි.
"2017 පැමිණි මේ මුදල් අතරින් පෝට්සිටියේ ඩොලර් මිලියන 194, ෂැන්ග්රිලාහි මිලියන 185, කොම්පඤ්ඤ වීදියේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය මිලියන 100, ඩයලොග් ආසියාටා මිලියන 85, ශ්‍රී ලංකා ටෙලිකොම් මිලියන 60, එයාර්ටෙල් මිලියන 45, හැව්ලොක් සිටි මිලියන 43, ඕවර්සීස් රියැලිටි මිලියන 43 සහ යුනිලීවර් මිලියන 37 යන ආයෝජන ඇතුළත් වෙනවා. ඒ සියල්ලම පසුගිය රජය සමයේ අත්සන් තැබුණු ආයෝජන. මේ එකතුව ගත්තහම වර්තමාන රජය යටතේ මෙරටට පැමිණි විදේශ ආයෝජන මුදල් ප්‍රමාණය වෙන්නේ ඩොලර් මිලියන 309ක් විතරයි. ඒකෙනුත් මිලියන 292ක්ම හම්බන්තොට වරාය බදුදී ලබාගත් පළමු වාරිකයයි. ඒ කියන්නේ මේ රජය යටතේ රටට ලැබිලා තියෙන්නේ ඩොලර් මිලියන 17ක ආයෝජන පමණයි." යනුවෙන්ද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ