ශ්‍රී ලංකා යුද හමුදාව ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘතියෙහි තවත් එක් සුවිශේෂී පියවරක් ලෙස ත්‍රස්තවාදී ක්‍රියා හමුවේ විනාශ වී ගිය අලිමංකඩ ලුණු ලේවාය නැවත නගාසිටුවීම සඳහා සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.
මේ අනුව, 1980 වකවානුවේ එල්ටීටීඊ ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ විනාශ වූ අලිමංකඩ ලුණු ලේවාය නැවත නගාසිටුවීම සඳහා සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය සහ ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ක්‍රියා කරයි.
මෙම අලිමංකඩ ලුණු ලේවාය නැවත පිහිටුවීමෙන් පසු උතුරේ තරුණයින් 2000කට පමණ රැකියා අවස්ථා සැලසෙන බව කියැවෙයි.
සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ සහයෝගය අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායකගේ මග පෙන්වීම යටතේ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ලුණු නිෂ්පාදනාගාරය නගාසිටුවීම සදහා අවශ්‍ය මූලික වැඩකටයුතු කිලිනොච්චි ආරක්ෂක සේනාවේ භට පිරිස් සිදු කරන බව පැවසෙයි.
18 වැනි ගජබා රෙජිමේන්තු හමුදා සාමාජිකයන් 18 දෙනෙකු දිවා රාත්‍රී මුර දෙකකට මෙම ලුණු ලේවාය මුහුදු ජලයෙන් පිරවීම සඳහා අදාළ කටයුතු කරමින් සිටිති. මෙම ලුණු ලේවායට අවශ්‍ය මුහුදු ජලය නැවත පුරවා එය පිළිසකර කිරීමේ කටයුතු මාසයක් ඇතුළත සම්පුර්ණයෙන් සිදු කර මෙහි ලුණු නිෂ්පාදන කටයුතු සිදුකිරීම සඳහා සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය වෙත භාර දීමට නියමිතය.
කුරුන්වාඉතිව් උතුරු ප්‍රදේශය සහ දකුණු ප්‍රදේශය යා කරමින් අක්කර 1,946 ක් පුරා පැතිරී ඇති අලිමංකඩ ලුණු ලේවාය අවුරුද්දකට ලුණු මෙට්‍රික් ටොන් 60,000ත් 80,000ත් අතර ප්‍රමාණයක් ලබාදුන් අතර, 1980 දශකයේ මැද භාගයේ දී සිදු වු එල්ටීටීඊ ත්‍රස්ත ක්‍රියා හමුවේ එහි ක්‍රියාකාරීත්වය බිඳ වැටුණි.