මෙවර අයවැය යෝජනා තුළින් ත්‍රිරෝද රථ කර්මාන්තය ආශ්රයෙන් සිය ජීවිකාව ගෙනයන බොහෝ පිරිසක් වෙත දැරිය නොහැකි බරක් පටවා ඇති බවට චෝදනා නැඟෙයි. මෙරට ජනතාවගේ මූලික අවශ්‍යතාවලින් එකක් වන ප්‍රවාහනය උදෙසා සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන ත්‍රිරෝද රථ කර්මාන්තය මත මෙසේ බරක් පැටවීම සුවහසක් වූ ලාංකේය ජනතාවගේ ජීවිතවලට මහත් අනිටු බලපෑම් ඇති කරන බවටද එම චෝදනා එල්ල වෙයි. ත්‍රිරෝද රථ පැදවීම සිය රැකියාව කරගත් ප්‍රජාව වෙත සමාජයේ විවිධ මත පැවතියත්, මෙරට ජනගහනයෙන් තුනෙන් එකක් පමණ දෛනිකව ත්‍රිරෝදවලට ගොඩවෙන බවටද විශ්වාස කෙරෙයි.
කෙසේ වෙතත්, ත්‍රිරෝද රථය කෙරෙහි වපරඇසින් බලන බොහෝදෙනා නඟන මැසිවිල්ලක් වන්නේ, මෙම ත්‍රිරෝද රථ ප්‍රජාවේ බහුතරය මාර්ග නීති තඹයකට මායිම් නොකර බවය. එමෙන්ම, මේ වනවිට කොළඹ හා තදාසන්න නගරවල පවතින ත්‍රිරෝද රථ ප්‍රමාණය මෙරට මංමාවත්වලට දරාගත නොහැකි ප්‍රමාණයක් බවටද මතයක් පවතී. මේ සියලු කරුණු කාරණා හමුවේ 2017 අයවැය යෝජනාවලිය හරහා ත්‍රිරෝද රථ මිලදී ගැනීම අධෛර්යයට පත්කිරීම සම්බන්ධයෙන් සතුටු වන්නෝද වෙති.
මේ අතර, ත්‍රිරෝද රථ කර්මාන්තයේ පිරිස් මෙන්ම, කල්බදු (ලීසිං) ක්ෂේත්රය හා සම්බන්ධ ප්‍රජාව පවසන්නේ 2017 අයවැය යෝජනාවලියේ මතභේදාත්මක සහ ගැටලු සහගත තත්ත්වයක් පවතින බවයි. මූලිකවම සාමාන්‍ය ජනතාවගේ වාහනයක් ලෙස ත්‍රිරෝද රථ ‘අගය කිරීම සඳහා (LTV – Loan to Value Ratio) අනුපාතය 30% සිට 75% ක් දක්වා වැඩි කිරීමට රජය ගෙන තිබෙන තීරණය මගින් ත්‍රිරෝද රථ මිලදීගන්නා පාරිභෝගිකයන් මහත් පීඩාවට පත්ව ඇති බවට චෝදනා නැඟෙයි.
මීට පෙර ආසන්න වශයෙන් 650,000/- ක පමණ වටිනාකමකින් යුතු ත්‍රිරෝද රථයක් මිලදී ගන්නා අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ සමස්ත වටිනාකමෙන් 30% ක්, එනම් රු.ලක්ෂ 2 ක මුදලක් පමණක් ගෙවිය යුතුව තිබූ අතර, ඉතිරි 70% කල් බදු පහසුකමක් යටතේ දරාගත හැකිව තිබුණි. නමුත් මෙවර අයවැය යෝජනා හරහා එම තත්ත්වය වෙනස් කරමින්, එම කල්බදු පහසුකම 25% ක් දක්වා අඩුකර ඇත. එමෙන්ම, ත්‍රිරෝද රථ සඳහා කියුබික් ඒකක මත පදනම් වූ නිෂ්පාදන බදුද වැඩි කරමින්, අලුතින් කාබන් බද්දක්ද හඳුන්වාදීම ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇණීමක් හා සමානය. මෙම තත්ත්වය නිසා අනාගතයේදී ත්‍රිරෝද රථයේ වටිනාකමෙන් 75% ක්, එනම් රු.ලක්ෂ 5කට වඩා වැඩි මූලික ගෙවීමක් සාමාන්‍ය ගනුදෙනුකරුවෙකුට ගෙවීමට සිදුවනු ඇත. මෙය වත්මන් රජය බලයට පැමිණීමේදී සඳහන් කළ පොරොන්දු අමතක කිරීමක් බවටද චෝදනා නැගෙයි.
පොඩි මිනිහාගේ වාහනය ලෙස හැඳින්වෙන ත්‍රිරෝද රථය මගින් රෙදිපිළි, ආහාර වර්ග ආදිය පොළෙන් පොළට හෝ දොරින් දොරට ගොස් විකුණන ස්වයං රැකියාලාභීන්, කුලී රථ ලෙස ත්‍රිරෝද රථ පදවා ආදයම් ලබන්නන් ආදී වශයෙන් ඒ ආශ්රිත පවුල් රැසක් මේ වනවිටත් රට තුළ බිහි වී ඇත. ඒ අනුව, ඔවුන්ට විකල්ප අවස්ථාවක් ලබානොදී මේ ආකාරයෙන් එක්වරම බර පැටවීම එම ජනතාව විශාල පීඩනයකට ඇද දැමීමක් බවට එල්ලවන චෝදනාවට රජයට පිටුවා සිටිය නොහැක.
අඩු මුදලකින් ප්‍රවාහන පහසුකම් ලබාගත හැකි යතුරුපැදියක් නොවන එකම ප්‍රවාහන මාධ්‍යය ලෙස ප්‍රචලිත ත්‍රිරෝද රථයෙන් සෘජුව හා වක්‍රව ආදායම් ලබන පිරිසද සුළුපටු නැත. අප කලින් සඳහන් කළ වෘත්තිකයන්ට අමතරව, එම ත්‍රිරෝද රථ සඳහා සැපයුම් සේවා සපයන්නන්, අමතර කොටස් නිෂ්පාදකයන් සහ අලෙවි නියෝජිතයන් මෙන්ම මෙහෙයුම් සමාගම් යන මෙරට ආර්ථිකයේ විශාල කොටසක් මින් අගතියට පත්වන බවද කියැවෙයි. මෙහිදී, කල්බදු (ලීසිං) ක්ෂේත්රයද දැඩි පසුබෑමකට ලක්වන අතර, එම සේවාවන් හි වෘත්තිකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳවද ගැටලු ඇති කිරීමට මෙම අයවැය යෝජනා ඉවහල්ව ඇති බවද පැවසෙයි. මීට අමතරව, ත්‍රිරෝද රථ මෙරටට ගෙන්වා බෙදාහරින ආයතන, සැපයුම්කරුවන් (ගැල් හා ප්‍රවාහන සේවා), දැන්වීම්කරණ හා බැංකු ක්ෂේත්රයන්ටද මින් සෘජු හා වක්‍ර බලපෑම් එල්ලවන බවට චෝදනා නැගෙයි. සමස්තයක් ලෙස මෙම ආයතන අභිභවා පොදු මහජනතාවට වාසියකට වඩා පාඩුවක් සිදුවන්නේ යැයි යන මතය දරන්නෝද වෙති. මෙය බූමරංගයක් ලෙස රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලිය මන්දගාමී කරවන සාධකයක් විය හැකි බවටද චෝදනා නැගෙයි.
මෙවර අයවැයෙන් ත්‍රිරෝද රථ සඳහා විකල්ප ප්‍රවාහන මාධ්‍ය දිරිගැන්වීමක් පිළිබඳව කියවුණත්, එවැන්නක් තවමත් ප්‍රායෝගිකව හඳුන්වාදීමක් සිදුකර නොමැත. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රික් මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක තැන ගනිමින් කොළඹ හා තදාසන්න නගරවල කුලී රථය ලෙස පැමිණෙන්නේ නම් එහි යහපතක් දැකිය හැකිය. එය ත්‍රිරෝද රථ ප්‍රජාවේ සමාජ තත්ත්වය ඉහළ නැංවීමක් මෙන්ම, අද සමස්ත ලෝකයම පීඩා විඳින දේශගුණික විපර්යාසවලටද විසඳුමක් බව නොකිවමනාය.
නමුත්, මෙවැනි විකල්පයක් හඳුන්වා දීමක් හෝ ඒවා දිරිගැන්වීමක් නොකර එක්වරම අයවැය හරහා ත්‍රිරෝද රථයට සම්පූර්ණ බර පැටවීම එතරම් සුබවාදී නොවනු ඇත. එමෙන්ම, රටේ පොදු ප්‍රවාහන සේවයේද ප්‍රශ්න රැසක් තවමත් නොවිසඳුනු ප්‍රශ්න ලෙස ඔඩුදුවා පවතින බව නොරහසකි. එසේ හොඳ පොදු ප්‍රවාහන සේවාවක් රටේ පැවතුණා නම්, එයද පොදු මහජනතාවට අස්වැසිල්ලකි. මේ සියලු කරුණු කාරණා මැද රටේ ප්‍රවාහන සේවයට විශාල දායකත්වයක් ලබාදෙන රෝද තුනට මෙවර අයවැය බැලූ බැල්මටම හොඳක් සිදුකර නොමැත. මෙවර අයවැය තුළ සාධනීය කරුණු කාරණා රැසක් පැවතියත්, රටේ සැබෑ තත්ත්වය තේරුම් නොගෙන අයවැයට යෝජනා එක්කිරීමෙන් රටට සෙතක් නොවනු ඇත.
ජනනී උඩබැද්දාව