කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව එහි ද්විතියික වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා මධ්‍යම ප්රතිපාක්ෂික ආයතනයක් (Central Counter Party) පසුගියදා හඳුන්වා දුන්නේය. එහිදී මෙම ආයතනය 100% ක්ම කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි හිමිකාරීත්වය සහිත සමාගමක් වන අතර, එමගින් මුදල් පියවීම සහ සුරැකුම්පත් හුවමාරුවීම සම්බන්ධයෙන් වගකීම දරමින් මධ්‍යම ආයතනයක කාර්යභාරය සිදුකරන බවද පැවසෙයි.
කොළඹ ව්‍යාපාරවස්තු හුවමාරුවෙහි ගනුදෙනු වන කොටස් හා ණයකර හුවමාරුවේදී බලපාන්නාවූ අවදානම් අවම කිරීමේ අදහසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය සහිතවමෙය හඳුන්වා දී තිබේ. ඒ අනුව මෙම නව ක්‍රමවේදය කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් බවද එම කොමිෂන් සභාව පවසයි.වර්තමානයේදී විකිණුම්කරුවෙකු කොටස් විකිණීමක් කරන විටදී ඒ මොහොතේදීම කොටස් ගැනුම්කරුට හුවමාරු වූවත් විකුණුම්කරුට මුදල් පියවීම සිදුවන්නේ දින තුනක් ඉක්ම ගිය පසුවයි. ඒ අනුව මේ හේතුවෙන් විකුණුම්කරුට දින තුනක පියවීම අවදානමකට මුහුණදීමට සිදුවේ.
මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදු භාරකාර බැංකුවක් හෝ කොටස් තැරැව්කාර ආයතනයක් ගෙවීම් කඩවීම්වලට පත්වී නොමැති වුවත්, මෙම පියවීමේ අවදානම අවම කිරීම සඳහා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව විසින් පසුගිය වකාවානුව පුරාම ක්‍රියාමාර්ගයන් ගෙන තිබුණි. එහෙත් මේ සඳහා ලොව පිළිගත් ක්‍රමවේදය වන්නේ මධ්‍යම ප්රතිපාක්ෂික ආයතනයක් ස්ථාපනය කොට මුදල් ගෙවනු ලබන අවස්ථාවේදී සුරැකුම්පත් හුවමාරුව සිදුවීමයි. එසේම එය සුරැකුම්පත් කොමිෂන්වල ජාත්‍යන්තර සංවිධානයේද නිර්දේශය වී තිබේ.
මෙලෙස නව මධ්‍යම ප්රතිපාක්ෂික පද්ධතියක් ස්ථාපනය කිරීම අනෙක් අතට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව අන්තර්ජාතික මට්ටමේ කොටස් හුවමාරුවක් බවට පත්කිරීමේ ඉලක්කය පූර්ණය වීමකි. 1997 දී ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතිය ස්ථාපනය කිරීමෙන් පසුව වෙළෙඳ පොළ යටිතල පහසුකම් නැංවීමේ දැවැන්තම පියවර මෙය ලෙසද සඳහන් කළ හැකි බව සඳහන් වෙයි.
මෙම මධ්‍යම ප්රතිපාක්ෂික පද්ධතියක් ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියට ප්‍රථමයෙන්2014 දී නව මධ්‍යම තැන්පතුක්රම ක්‍රියාවලියක් හඳුන්වාදීමත්, දෙවැනි පියවර ලෙස තැරැව්කාර ආයතනවල යටිතල පහසුකම් නැංවීමත් සිදුවිය. එසේම ඇණවුම් කළමනාකරණ පද්ධති නවීකරණයත්2015 වසරේදී ආරම්භ කරන ලද අතර, එය 2016 වසරේ මාර්තු මස සම්පූර්ණ වීමට නියමිතව තිබේ. වර්තමානයේදී මෙම ක්‍රියාවලිය එහි තෙවැනි අදියරට පත්ව ඇත.
එහිදී නව ආයතනයක් ස්ථාපනය කිරීමේදී මූලිකයටිතල පහසුකම් සේවා සපයන්නන් විමර්ශනය කිරීම, නව නීති පසක් කිරීම ආදිය සිදු කරමින් පවතියි. මධ්‍යම ප්රතිපාක්ෂික ආයතනයක් ලෙස හඳුන්වාදෙනු ලබන මෙම ආයතනය විකුණුම්කරුට ගැනුම්කරුවෙකු ලෙසත්, ගැනුම්කරුට විකුණුම්කරුවෙකු ලෙසත් ක්‍රියාකරනු ලබන අතර, පෙරදී ගැනුම්කරු හා විකිණුම්කරු අතර තිබූ බැඳීම වෙනුවට වෙන වෙනම නව ආයතනය සමග ගිවිසුම් ගතවීමද කැපී පෙනෙයි.
මධ්‍යම ප්රතිපාක්ෂික පද්ධතියක් ස්ථාපනය කිරීම තුළ මුදල් පිළිබඳව පවතින අවදානමෙන් මිදීමට ආයෝජකයාට හැකියාව ලැබෙන අතර, නිසැක වශයෙන්ම බේරුම්කරණය සිදුවන බවට සහතිකයක් නව ක්‍රමවේදය තුළ ආයෝජකයාට ලබා දීම අරමුණයි.
මෙම ක්‍රියාවලිය හරහා වෙළෙඳ පොළ තුළ වගකීම ඉහළ නැංවෙනු ඇති අතර, එය කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව නැගී එන කොටස් හුවමාරුවක් ලෙස වර්ග කිරීමට පූර්ව කොන්දේසියකි. එමෙන්ම ව්‍යුත්පන්න සුරැකුම් වැනි නව මූල්‍ය උපකරණ හුවමාරු කිරීම සඳහා මෙවැනි පද්ධතියක අවශ්‍යතාව පවතියි. එමනිසා පියවීමේ අවදානම අවම කිරීමට අමතරව මෙම අවශ්‍යතාව පූර්ණයවීමත් සමග ශ්‍රී ලංකාව ව්යුත්තපන්න සුරැකුම්පත් වෙළෙඳ පොළට අවතීර්ණ වීමටද හැකියාව ලැබීම වැදගත් අවස්ථාවක් වී තිබේ.
ව්‍යාපෘතිය සඳහා මූලික අනුමැතිය ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් ලබාගෙන තිබෙන අතර නව ආයතනය සඳහා බලපත්‍රය අනාගතයේදී ලබාදෙනු ඇත. එක්සත් රාජධානියෙහි BTA Consulting ආයතනය විසින් උපදේශන දායකත්වය ලබාදෙන අතර, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සම්බන්ධ බොහෝ ව්‍යාපෘතීන් සඳහා මෙම සමාගම උපදේශන දායකත්වය සලසා දී තිබේ. මෙහි මූලික අදියරෙහි උපදේශන ගාස්තු ශ්‍රී ලංකා මහා බැංකුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව හා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව විසින් 1/3 අනුපාතයට දරන ලද අතර අවශේෂ යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ පද්ධති සඳහා වියදම කොළඹ ව්‍යාපාර වස්තු විසින් දරනු ලැබේ.
එහිදී මූලිකවම මධ්‍යම ප්රතිපාක්ෂික පද්ධතියක් ස්ථාපන කිරීම සඳහා ව්‍යාපෘතිය අදියරයන් කිහිපයක් මගින් සම්පූර්ණ විය යුතුය. එහිදී අවශ්‍යතා නිර්ණය හා ආරම්භක වාර්තාව, මිල කැඳවීම හා සේවා සපයන්නන් කළමනාකරණය, නෛතික, නියාමන හා මෙහෙයුම්, සජීවී ගනුදෙනු සිදු කිරීම, පශ්චාත් සජීවී කාලය යනාදිය එම අදියර ලෙස සැලකෙයි.
ඒ අනුව ඔවුන් මෙහි මුල් අදියර සම්පූර්ණ කර කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙහි අනුමැතිය ලබාගෙන තිබේ. දෙවැනි හා තෙවැනි අදියරයන් 2015 දෙසැම්බර් මස ආරම්භ කිරීමට නියමිතව තිබේ. එසේම මෙම ව්‍යාපෘතිය 2017 ජනවාරි මස සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.