CHEC සමාගමේ ත්‍රෛපාර්ශ්වීය ගිවිසුම
මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය සමග එළැඹි ත්‍රෛපාර්ශ්වීය ගිවිසුම සම්බන්ධයෙන් වරාය නගර (පෝට් සිටි) ව්‍යාපෘතිය භාරව කටයුතු කරන CHEC Port City Colombo (පෞද්.) සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ. ඔවුන් පෙන්වාදෙන පරිදි, මෙම නව ගිවිසුමත් සමගම, මීට පෙර 2014 සැප්තැම්බර් 16 වැනි දින ශ්‍රී ලංකා රජය සහ ව්‍යාපෘති සමාගම අතර අත්සන් තබන ලද ගිවිසුම නිල වශයෙන් අහෝසි වී ඒ වෙනුවට මෙම නව ගිවිසුම බලාත්මක වෙයි.
මීට ඉහතදී, මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් පරිපූරක පරිසර ඇගයීම් වාර්තාව සම්පූර්ණ කරන තුරු වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය පියවර ගත් බව ඔවුන් කියයි. මෙම වසර මුලදී අදාල පරිසර ඇගයීම් වාර්තාව සම්පූර්ණ කරනු ලැබීමෙන් අනතුරුව, එකී අත්හිටුවීමේ තීරණය පසුගිය මාර්තු මාසයේදී රජය විසින් ඉවත් කරගන්නා ලද බවත්, ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා සංවර්ධන බලපත්‍රයක් නිකුත් කිරීමටද වෙරළ සංරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගත් බවත් ඔවුන් කියයි. ඒ අනුව, වසරකට වැඩි කාලයක් පුරා ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දමා තිබුණු බවද පෙන්වා දෙයි.
2015 ජනවාරි මාසයේදී නව රජය පිහිටුවීමෙන් පසුව ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතුවූ විවිධ ගැටලු නිරාකරණය කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සමග සහයෝගයෙන් වැඩ කිරීමට ව්‍යාපෘති සමාගම කටයුතු කළ බවද ඔවුන් කියයි. නව පරිසර ඇගයුම් වාර්තාව මගින් මෙම ගැටලු සියල්ල ආවරණය කර ඇති බවත්, ඒ අනුව සකසන ලද මෙම ත්‍රෛපාර්ශ්වීය ගිවිසුම අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ අතර 2016 අගෝස්තු 9 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබූ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
මෙම නව ගිවිසුමත් සමගම, වර්තමානයේ මෙරට පෞද්ගලික අංශයේ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා ව්‍යාපෘති සමාගම සහ ශ්‍රී ලංකා රජය පොදු දැක්මක් යටතේ එකඟ වී සිටින බවද ඔවුන් කියයි. රටේ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සමග එක්වී මෙය රටේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා විශාල වශයෙන් දායක වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, මෙම නව නගරය නවීන ජීවන, වෘත්තීය හා විනෝදාස්වාද පහසුකම්වලින් සමන්විත වන බැවින් මෙය දකුණු ආසියාවේ ආයෝජන මධ්‍යස්ථානයක් බවට නිතැතින්ම පත්වනු ඇති බවද පෙන්වා දෙයි.
මෙම ව්‍යාපෘතිය ඔස්සේ විවිධ අංශවලට අදාළව රැකියා අවස්ථාවන් 83,000 ක් පමණ බිහි කිරීම ශ්‍රී ලංකා රජයේ සහ ව්‍යාපෘති සමාගමේ අපේක්ෂාව බවත්, ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව සහ චීනය ඇතුළු රටවල් රැසකින් ඇ.ඩො.බිලියන 13 කට ආසන්න ආයෝජන ප්‍රමාණයක් ඇදී එනු ඇති බවත් කියයි. එමෙන්ම එළඹෙන වසර 20 ක 30 ක පමණ කාලය තුළ මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාවද ඉහළ යනු නිසැක බවද ඔවුන් පෙන්වා දෙයි.
වරාය නගර දිස්ත්‍රික්කය තුළ මූල්‍ය හා ව්‍යාපාරික දිස්ත්‍රික්කයක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වන බැවින්, මෙම ව්‍යාපෘතිය මින් ඉදිරියට කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය ලෙස නම් කෙරෙනු ඇති බවද ඔවුන් පවසයි. මෙම පියවර සඳහා ව්‍යාපෘති සමාගමේ පූර්ණ අනුග්‍රහය ලැබෙන අතර ඉදිරි කටයුතු සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වීමට එම සමාගම සූදානමින් සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

