ආසියානු සංවර්ධන බැංකුවේ 49 වැනි මුදල් අමාත්‍යවරුන්ගේ වාර්ෂික සමුළුව ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවරදී ඊයේ (05දා) අවසන් වූ අතර, එහිදී, ශ්‍රී ලංකාව වෙත විශේෂ අවධානයක් යොමු වූ බව මුදල් අමාත්‍යාංශය කියයි.
පසුගිය මැයි 02 වැනිදා ආරම්භ වූ මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහභාගී විය. ආසියානු සංවර්ධන බැංකුවට අයත් රටවල් 67ක මුදල් අමාත්‍යවරුන් ඇතුළු මූල්‍ය ක්ෂේත්රයේ විශේෂඥයින් 3,000කට අධික පිරිසක් සමුළුවට සහභාගී වී තිබුණි. මෙවර සමුළුවේ තේමාව වී තිබුණේ, %ස්ථාවරත්වය සඳහා සහයෝගීතාවය^ (Cooperating for Sustainability) යන්නයි.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ, මෙවර සමුළුවේදී ශ්‍රී ලංකාවට සුවිශේෂී වරප්‍රසාද රැසක් හිමිකර ගැනීමට හැකි වූ බවය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ පවතින යහපත් දේශපාලන වාතාවරණය හමුවේ ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරන මුදල් අමාත්‍යවරුන්ගේ දැඩි අවධානය ශ්‍රී ලංකාව කෙරෙහි යොමු වූ බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මීට අමතරව, මුදල් අමාත්‍යවරයා ආසියානු සංවර්ධන බැංකුවේ සමුළුව අතරතුර රටවල් රැසක මුදල් අමාත්‍යවරුන් සමග වෙන් වෙන් වශයෙන්ද සාකච්ජා පැවැත්වූ බව මුදල් අමාත්‍යාංශය කියයි. විශේෂයෙන් ජපාන මුදල් අමාත්‍ය ටාරෝ අසෝ මහතා සමග පවත්වන ලද සාකච්ජාව ශ්‍රී ලංකාව ආශ්රයෙන් ඉතා වැදගත් අවස්ථාවක් වී තිබේ. මෙහිදී ජපාන මුදල් අමාත්‍යවරයා කියා ඇත්තේ ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින දීර්ඝ කාලීන මිත්‍ර සබඳතාව මේ වනවිට පුළුල් වී ඇති බවයි. ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය උදෙසා අඛණ්ඩව සහාය දෙන බවද ටාරෝ අසෝ මහතා එහිදී කියා තිබේ.