Salesforce සමග John Keells සහයෝගීතාව තවත් පුළුල් කරයි
ලොව අංක 1 Agentic CRM වන Salesforce ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් පරිවර්තනය වේගවත් කිරීම සඳහා මෙරට විශාලතම සහ වඩාත්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන John Keells හෝල්ඩිංග්ස් පීඑල්සී (JKH) සමඟ සිය සහයෝගීතාව පුළුල් කරන බව නිවේදනය කර තිබේ.
මෙම පුළුල් කරනලද සහයෝගීතාවය හරහා, JKH හි ප්‍රධාන ව්‍යාපාර දෙකක් වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුපිරි වෙළඳසැල් ජාලයක් වන Keells සහ එහි මෝටර් රථ ව්‍යාපාරය වන John Keells CG Auto වෙත සිය මීළඟ වර්ධන අදියර කරා පියනඟන විට, අන්තර් සම්බන්ධිත, පෞද්ගලීකරණය වූ සහ දත්ත මත පදනම් වූ විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබා දීමට අවස්ථාව සැලසේ.
Salesforce තාක්ෂණය සමඟින් Keells සුපිරි වෙළඳසැල් හරහා පෞද්ගලීකරණය කළ පාරිභෝගික සබඳතා ශක්තිමත් කිරීම මෙම සහයෝගීතාවයේ කේන්ද්‍රස්ථානය වන්නේ මිලියන දෙකකට අධික සාමාජිකයින් පිරිසකට සේවා සපයන, Salesforce මගින් බලගැන්වෙන, ශ්‍රී ලංකාවේ වඩාත්ම පිළිගැනීමට ලක්වූ ලෝයල්ටි වැඩසටහනක් වන Keells Nexus ය.
Keells සුපර් විසින් Salesforce Loyalty Management, Data 360, Marketing Automation, MuleSoft සහ Agentforce Service යන සේවාවන් සඳහා ද Salesforce තාක්ෂණය භාවිතා කරනු ලබයි. පාරිභෝගික ගනුදෙනු, හැසිරීම් රටා, රුචිකත්වයන් සහ සන්නිවේදන රටාවන් ඒකාබද්ධ කිරීම හරහා, පාරිභෝගික අවබෝධය සක්‍රීය ක්‍රියාමාර්ග බවට පත් කිරීමට Keells වෙත අවස්ථාව ලැබේ. මේ හරහා පාරිභෝගික ජීවන චක්‍රයේ සෑම අදියරකදීම ලැදියාව වර්ධනය කරන, සබඳතා වැඩිදියුණු කරන සහ ඉහළ වටිනාකමක් ජනනය කරන පෞද්ගලීකරණය වූ සේවාවන් පිරිනැමීමට ඔවුන්ට හැකි වනු ඇත.
Salesforce තාක්ෂණය හරහා John Keells CG Auto හි මෝටර් රථ පාරිභෝගික ගමන්මග ඒකාබද්ධ කිරීම
ශ්‍රී ලංකාව තුළ New Energy Vehicles භාවිතයේ වර්ධනයට සහාය වෙමින්, John Keells CG Auto ශ්‍රී ලංකාවේ BYD මගී වාහන සඳහා බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරයි. වාහන තොග කළමනාකරණයට සහාය වීමට සහ එය පෙර අලෙවි, අලෙවි, හිමිකාරීත්ව සහ අලෙවියෙන් පසු සේවා යන සියලු අදියරයන්හි පාරිභෝගික ගනුදෙනු සමඟ සම්බන්ධ කිරීමට සමාගම විසින් Salesforce Automotive Cloud තාක්ෂණය භාවිතා කරයි.
පාරිභෝගික සහ වාහන දත්ත පිළිබඳ ඒකාබද්ධ දැක්මක් මඟින්, වාහනයක් පිළිබඳව සොයා බැලීමේ සහ මිලදී ගැනීමේ සිට සේවා සැපයීම සහ හිමිකාරීත්වය දක්වා වූ මෝටර් රථ පාරිභෝගික ගමන්මගේ සෑම අදියරක්ම සම්බන්ධ කිරීමට John Keells CG Auto වෙත උපකාරී වනු ඇත. නව ශාඛා, සේවාවන් සහ ප්‍රිමියම් කාණ්ඩ හරහා සමාගමේ ව්‍යාප්තියට සහාය වන අතරම, අවස්ථාවට උචිත සහ අඛණ්ඩ පාරිභෝගික අත්දැකීමක් ලබා දීමට මෙම පදනම ඉවහල් වනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින්, John Keells හෝල්ඩිංග්ස් පීඑල්සී හි විධායක උප සභාපති සහ සමූහ ප්‍රධාන තොරතුරු නිලධාරී (EVP & Group CIO), රමේෂ් ෂන්මුගනාදන් මහතා, "John Keells හි අප, අත්දැකීම් කේන්ද්‍ර කරගත් ආර්ථිකය තරගකාරීත්වයේ මීළඟ සීමාව ලෙස දකිනවා. එය හුදු ගනුදෙනුවලින් ඔබ්බට ගොස් අන්තර් සම්බන්ධිත, බුද්ධිමත් සහ වඩ වඩාත් පෞද්ගලීකරණය වූ සේවාවන් නිර්මාණය කිරීමක්. Salesforce සමඟ අපගේ හවුල්කාරිත්වය දත්ත, AI සහ පාරිභෝගික සබඳතා එක්තැන් කරමින් පාරිභෝගික අවබෝධය සක්‍රීය ක්‍රියාමාර්ග බවට පත් කරනවා. Keells සුපිරි වෙළඳසැල්වල සිට John Keells CG Auto දක්වා, සෑම ව්‍යාපාරයකටම සහ එහි පාරිභෝගිකයින්ට ගැළපෙන පරිදි සමූහය පුරා ව්‍යාප්ත කළ හැකි ස්ථාවර පදනමක් අප මේ හරහා ගොඩනගමින් සිටිනවා. Agentic AI තාක්ෂණය වඩ වඩාත් ප්‍රායෝගික තලයට පැමිණෙමින් තිබෙන මේ මොහොතේ, යම් අවස්ථාවක ස්වභාවය අවබෝධ කරගෙන තථ්‍ය කාලීනව ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව අපට උදා වී තිබෙනවා. ඒ හරහා මහා පරිමාණයෙන් පෞද්ගලීකරණය කළ සේවා සැපයීමට අපට හැකි වෙනවා” යැයි පවසා සිටියේය.
John Keells හෝල්ඩිංග්ස් පීඑල්සී හි සිල්ලර වෙළඳ අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ තොරතුරු තාක්ෂණ ප්‍රධානී, ඔසඳ වර්ණකුලසූරිය මහතා අදහස් දක්වමින්, "මිලියන දෙකකට අධික Keells Nexus සාමාජිකයින් සිටින අපට, පෞද්ගලීකරණය අදාළ, කාලෝචිත සහ විශ්වාසදායක එකක් විය යුතුයි. අපගේ පාරිභෝගිකයින්ව වඩා හොඳින් අවබෝධ කර ගැනීමටත්, ඔවුන් සමඟ සිදු කරන සෑම සන්නිවේදනයක්ම වඩාත් ඵලදායී කිරීමටත්, පාරිභෝගික ගනුදෙනු, රුචිකත්වයන් සහ සම්බන්ධතා දත්ත එකට එක් කිරීමට Salesforce තාක්ෂණය අපට අවස්ථාව ලබා දෙනවා. මේ හරහා අප අරමුණු කරන්නේ හුදු ප්රතිලාභ ලබාදීමකින් ඔබ්බට ගොස්, එදිනෙදා ජීවිතයේදී පාරිභෝගිකයින් සමඟ ගැඹුරු සබඳතා ගොඩනඟා ගැනීමට සහ සියලුම මාධ්‍යයන් හරහා අඛණ්ඩ, ඒකාකාරී සේවාවක් සැපයීමටයි” යනුවෙන් පවසා සිටියේය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සඳහා වන Salesforce හි කළමනාකාර අධ්යක්ෂ මන්කිරන් චෞහාන් මහත්මිය අදහස් දක්වමින්, “පාරිභෝගිකයින් ව්‍යාපාරයක් අත්විඳින්නේ වෙන වෙනම පවතින පද්ධති හෝ කාර්යයන් ලෙස නොව, එක් අඛණ්ඩ සබඳතාවක් ලෙසයි. යම් අයෙකු එදිනෙදා සිල්ලර භාණ්ඩයක් මිලදී ගත්තත්, නැතහොත් වසර ගණනාවක් පුරා වාහනයක් භාවිත කළත්, ඔවුන්ගේ අපේක්ෂාව එකමයි . එනම්, ඔවුන්ව හඳුනා ගැනීම, ඔවුන්ගේ අවශ්‍යතාවය වටහා ගැනීම සහ සෑම ගනුදෙනුවක්ම පහසු කිරීමයි. John Keells සමඟ අපගේ මෙම සහයෝගීතාවයෙන් පිළිබිඹු වන්නේ, හුදෙක් පාරිභෝගික දත්ත රැස් කිරීමෙන් ඔබ්බට ගොස්, වඩාත් වැදගත් අවස්ථාවලදී විශ්වාසදායක පාරිභෝගික බුද්ධිය සක්‍රීයව භාවිතා කිරීම දක්වා වූ පුළුල් පරිවර්තනයක්. නවීන ව්‍යවසායන් තිරසාර වර්ධනයක් ඇති කරන්නේ මේ ආකාරයටයි: එනම් දත්ත, CRM සහ AI තාක්ෂණය එක් අන්තර් සම්බන්ධිත මෙහෙයුම් ආකෘතියක් ලෙස ඒකාබද්ධ කිරීම හරහායි” යනුවෙන් පවසා සිටියාය.
දත්ත, AI සහ ස්වයංක්‍රීයකරණය භාවිත කරමින් වඩාත් අන්තර් සම්බන්ධිත, බුද්ධිමත් සහ පාරිභෝගික කේන්ද්‍රීය ව්‍යාපාර නිර්මාණය කිරීම හරහා ඩිජිටල් පරිවර්තනයේ මීළඟ අදියර කරා පියනැගීමට ආයතනවලට සිය පවතින තාක්ෂණික පදනම් මත ගොඩනැගිය හැකි ආකාරය මෙම සහයෝගීතාවයන් තුළින් මනාව පෙන්නුම් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

