SLIIT සිසුන් ජාත්‍යන්තර තලයේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබයි
දකුණු කොරියාවේ ඩේජොන් (Daejeon) නුවර වූසොන්ග් විශ්වවිද්‍යාලයේ සොල්බ්‍රිජ් ජාත්‍යන්තර ව්‍යාපාරික පාසල විසින් සංවිධානය කරන ලද 2025 ජාත්‍යන්තර ව්‍යාපාර සැලසුම් තරගාවලියේ (IBPC) ලෝක ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ උපාධි අපේක්ෂක සිසුන් කණ්ඩායම පසුගියදා සමත් විය. මෙම ඓතිහාසික ජයග්‍රහණය ශ්‍රී ලාංකේය ව්‍යාපාරික අධ්‍යාපනය ගෝලීය තලයට ඔසවා තැබූ සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, ව්‍යාපාරික නවෝත්පාදන සහ උපායමාර්ගික අංශයෙන් ලොව ප්‍රමුඛතම ආයතනයක් ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ස්ථානගත කිරීමට ද මෙය හේතු වී තිබේ.
2013 වසරේදී ආරම්භ වූ IBPC යනු ලොව පුරා ප්රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවල සිසුන්ගේ සහභාගිත්වයෙන් සැබෑ ලෝකයේ ව්‍යාපාරික අභියෝගයන්ට විසඳුම් සෙවීම අරමුණු කරගත්, ගෝලීය වශයෙන් පිළිගත් වාර්ෂිකව පවත්වන තරගාවලියකි. ජාත්‍යන්තර වශයෙන් පැවැත්වූ මාර්ගගත සුදුසුකම් ලැබීමේ වටයකින් ආරම්භ වූ මෙවර තරගාවලියේ අවසන් වටය 2026 ජනවාරි 26 සිට 30 දක්වා දකුණු කොරියාවේදී පැවැත්විණි. ආසියාව, යුරෝපය සහ ඇමරිකානු මහද්වීපය නියෝජනය කරමින් විශ්වවිද්‍යාල රැසක් මීට සහභාගී වූ අතර, මෙය උපාධි අපේක්ෂකයින් සඳහා වන ලොව වඩාත්ම අභියෝගාත්මක ව්‍යාපාරික තරගාවලියක් ලෙස සැලකේ.
මෙවර තරගාවලියේ අභියෝගය කොරියාවේ ප්‍රමුඛතම රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක් වන Lake Materials Co., Ltd. සමඟ එක්ව නිර්මාණය කර තිබූ අතර, පාරිසරික, සමාජීය සහ ආයතනික පාලන (ESG) ක්‍රමවේදයන්ට අනුකූලව තිරසාර වර්ධනයක් සඳහා වූ පුළුල් උපායමාර්ගයක් සකස් කිරීම තරගකරුවන්ගේ අරමුණ විය. එහිදී අදාළ සමාගමේ උපායමාර්ගික ස්ථාවරය විශ්ලේෂණය කරමින්, ගෝලීය ESG ප්‍රමිතීන්ට අනුකූල වන, මූල්‍යමය වශයෙන් ප්‍රායෝගික සහ තිරසාර නවෝත්පාදන විසඳුම් යෝජනා කිරීම සිසුන්ගෙන් අපේක්ෂා කෙරිණි. මේ සඳහා විශිෂ්ට විශ්ලේෂණාත්මක හැකියාවක් මෙන්ම ප්‍රායෝගික සැලසුම්කරණය සහ ශක්තිමත් මූල්‍ය ආකෘතිකරණයක් ද අත්‍යවශ්‍ය විය.
දැඩි ගෝලීය තරගකාරිත්වයක් හමුවේ ලොව හොඳම කණ්ඩායම් 10 අතරට තේරී පත් වූ SLIIT කණ්ඩායම, අවසානයේදී ප්‍රථම ස්ථානය දිනාගනිමින් IBPC ලෝක ශූරතාව දිනාගත් ඉතිහාසයේ ප්‍රථම ශ්‍රී ලාංකේය කණ්ඩායම බවට පත්විය. ඔවුන්ගේ විශ්ලේෂණාත්මක ගැඹුර, නවෝත්පාදන චින්තනය, උපායමාර්ගික පැහැදිලි බව සහ ප්‍රබල ව්‍යාපාරික ආකෘතිකරණය ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලේ ඉහළම ඇගයීමට ලක්විය. මෙම ශූරතා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හේෂාන් සමීර කංකානම් පතිරණගේ මහතා කටයුතු කළ අතර, කණ්ඩායමේ සාමාජිකයින් ලෙස මොහොමඩ් හුස්නි හුසේන්, යුතාරා සුබසිංහ, සුනේර ලැනරෝල් සහ අතපත්තු මුදියන්සේලාගේ රශිනි මලීෂා යන සිසු සිසුවියන් සහභාගී විය. තරගාවලිය පුරාවටම ඔවුන් සිය විශිෂ්ට කණ්ඩායම් හැඟීම, විනය සහ බුද්ධිමය පරිණතභාවය මැනවින් ප්‍රදර්ශනය කළහ.
ඉතිහාසය පුරාවට IBPC තරගාවලිය සඳහා ලොව පුරා විශ්වවිද්‍යාල 100 කට අධික ප්‍රමාණයක් සහභාගී වී ඇත. මෙම සුවිශේෂී ජයග්‍රහණය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ජාත්‍යන්තර කීර්තිය ඉහළ නංවනවා පමණක් නොව, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ද සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරයි.
කොරියාවේ සුප්‍රකට නවෝත්පාදන පරිසර පද්ධතිය තුළ ලොව ප්‍රමුඛතම විශ්වවිද්‍යාල සමඟ තරග කරමින්, ඉහළම ගෝලීය තලයේ ජයග්‍රහණ අත්කර ගැනීමට ශ්‍රී ලාංකේය සිසුන්ට හැකියාව ඇති බව SLIIT කණ්ඩායම මෙහිදී ඔප්පු කර පෙන්වීය. ප්‍රායෝගික ඉගෙනුම් අත්දැකීම්, ගෝලීය නිරාවරණය සහ රැකියා වෙළඳපොළට ගැළපෙන අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය දක්වන අඛණ්ඩ කැපවීම මෙම ජයග්‍රහණය තුළින් මනාව පිළිඹිබු වේ. තිරසාරභාවය සහ ESG රාමු සිය ව්‍යාපාරික විෂය මාලාවට ඒකාබද්ධ කිරීම හරහා, උපායමාර්ගික අවබෝධයෙන් සහ වගකීම් සහගත නායකත්වයෙන් යුතුව සමකාලීන ගෝලීය අභියෝගයන්ට මුහුණ දිය හැකි උපාධිධාරීන් බිහි කිරීමට ආයතනය කටයුතු කර ඇත.
මෙම ජයග්‍රහණය ජාතික ජයග්‍රහණයක් ලෙස හැඳින්වූ ආචාර්ය පතිරණගේ මහතා, "මෙය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම ලැබුණු ජයග්‍රහණයක්. විශ්ලේෂණාත්මක හැකියාව, උපායමාර්ගික පැහැදිලි බව සහ ගෝලීය අවබෝධය තුළින් ලෝකයේ දක්ෂතමයින් සමඟ තරග කළ හැකි බව අපේ සිසුන් ඔප්පු කර පෙන්වුවා. මෙම ගමන පුරාවට ඔවුන් දැක්වූ විනය, ඔරොත්තු දීමේ හැකියාව සහ බුද්ධිමය පරිණතභාවය පිළිබඳව මා ඉතාමත් ආඩම්බර වෙනවා." යැයි සඳහන් කළේය.
ජාත්‍යන්තර වේදිකාවක තරග කිරීම අභියෝගාත්මක මෙන්ම ජීවිතය වෙනස් කරන අත්දැකීමක් වූ බව කණ්ඩායම් නියෝජිත මොහොමඩ් හුස්නි හුසේන් සිසුවා සිය අදහස් දක්වමින් සඳහන් කළේය. ශූරතාවය දිනාගැනීම තුළින් කණ්ඩායමේ ආත්ම විශ්වාසය තවදුරටත් ශක්තිමත් වූ බවත්, නවෝත්පාදන සහ ව්‍යාපාරික උපායමාර්ග සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පෙරමුණ ගැනීමට ශ්‍රී ලාංකේය සිසුන්ට හැකියාව ඇති බව මෙයින් යළිත් තහවුරු වූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ආයතනික පිළිගැනීමෙන් ඔබ්බට ගොස්, කැපවීම, නවෝත්පාදනය සහ ශාස්ත්‍රීය විශිෂ්ටත්වය තුළින් ගෝලීය ජයග්‍රහණ අත්කර ගත හැකි බව පෙන්වා දෙමින් මෙම ජයග්‍රහණය සමස්ත ශ්‍රී ලාංකේය තරුණ පරපුරටම මහඟු ආදර්ශයක් සපයයි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය මෙම ඓතිහාසික ජයග්‍රහණය සමරන මොහොතේ, එය ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය, ගෝලීය තලයේ ඇතිකරමින් සිටින වර්ධනය වන බලපෑමට කදිම සාක්ෂියක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
