ඇමෙරිකාව සමග MCC ගිවිසුම අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති මේ මොහොතේ ඒ පිළිබඳව ජනතාව තුළ භීතිකාවක් මවන ඊනිය දේශප්‍රේමීන්, මෙමඟින් රටට හා ජනතාවට ඇතිවන්නා වූ අහිතකර බලපෑම් ඇත්නම් වහා හෙළි කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සහයෝගීතා ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරයි.
මහජනතාවට ප්රතිලාභ අත්වන මෙවන් ව්‍යාපෘති මගින් රටේ ස්වෛරීත්ත්වයට තර්ජනයක් වන බවට විපක්ෂය කරන චෝදනා බුද්ධිමත් ජනතාව කිසිවිටෙකත් පිළිගන්නේ නැතැයි තමා තරයේ විශ්වාස කරන බවද අමාත්‍යවරයා පවසයි.
මෙම ගිවිසුම නිත්‍යනුකූල වනුයේ එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව බවත්, ශ්‍රී ලංකාවේ නීති සම්පාදන ක්‍රමවේදය අනුව එම ගිවිසුම ගැසට් කළ විට එමගින් අගතියට පත්වූ සෑම පාර්ශ්වයකටම එම පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණයට යාමට ව්‍යවස්ථාවෙන්ම අවස්ථාව සලසා දී ඇති බවත් හෙතෙම කියයි.
මෙම ගිවිසුම මගින් රටේ ආර්ථික වර්ධනයට ඉතාමත් අත්‍යවශ්‍ය වන ප්‍රවාහන සේවය හා ඉඩම් පිළිබඳ ගැටලු ශ්‍රී ලංකාව විසින්ම හඳුනාගෙන යෝජනා කර ගිවිසුමට ඇතුළත් කර ඇති බව පවසන මුදල් අමාත්‍යවරයා, මෙහි සඳහන් ඉඩම් ගැටලු විසඳීම තුළින් ලක්ෂ 50ක් පමණ පුද්ගලයන්ට තම ඉඩම්වලට අදාළ සින්නක්කර ඔප්පු ලබාගත හැකිවන අතර, ප්‍රවාහනයට අදාළ ගැටලු විසඳීමෙන් ලක්ෂ 70ක ජනතාවකට ප්රතිලාභ ලැබෙනු ඇති බවද පවසයි.
මෙම ගිවිසුමේ ප්‍රථම අදියර යටතේ රටේ දිස්ත්‍රික්ක 07ක තිබෙන්නා වූ පෞද්ගලික හා රජයේ ඉඩම් පහසුවෙන් හඳුනාගත හැකිවන පරිදි ඉඩම් පිළිබඳ සිතියමක් සකස් කරනු ලබන බවත්, එමඟින් රජයේ ඉඩම් පිළිබඳ වෙනමම වට්ටෝරුවක් පවත්වාගෙන යාමට රජයට අවස්ථාවක් ලැබෙනු ඇති බවත් මුදල් අමාත්‍යවරයා කියයි.
මෙම ගිවිසුමේ ප්‍රතිපාදන අනුව විද්‍යුත් ඉඩම් ලියාපදිංචි කාර්යාලයක් පිහිටුවා දැනට ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවල තිබෙන සියළු ඔප්පු විද්‍යුත් ක්‍රමයට සුරක්ෂිත කර ඒ සඳහා නීතිමය පිළිගැනීමක්ද ලබාදෙන බවද හෙතෙම පවසයි.
MCC ගිවිසුම අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකාවට ඇ.ඩො.මිලියන 480කට සමාන රු.මිලියන 88,000ක පමණ මුදලක් ලැබෙනු ඇති බව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි..