MBSL ආන්තික ණය හිමි ආයෝජකයන්ගෙන් SEC හා CSE බලධාරීන්ට ඉල්ලීමක්
මෙරට බලපත්රලාභී බැංකුවක් මෙන්ම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මර්චන්ට් බෑක්ක් ඔෆ් ශ්රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (MBSL - MERCHANT BANK OF SRI LANKA & FINANCE PLC) සමාගමෙහි ආන්තින ණය දෙපාර්තමේන්තුව මගින් ආන්තික ණය (Margin Loan) ලබා ගනිමින් ලැයිස්තුගත සමාගම් තුළ මුදල් ආයෝජනය කර ඇති ආයෝජකයන් මේ වනවිට දැඩි අසාධාරණයකට සහ දුෂ්කරතාවකට මුහුණ දී සිටින බව එම ආයෝජකයෝ පවසති.
මෙහිදී එම ණය හරහා මිලදී ගත් සිය කොටස්වල හිමිකාරීත්වය සහිත MBSL සමාගම හෙට (08දා) දිනයේදී එම කොටස් කොළඹ කොටස් හුවමාරුව තුළ අඩු වටිනාකමකට අලෙවි කිරීමට සූදානමින් සිටීම එම අසාධාරණය බව ඔවුහු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් MBSL හි අදාළ ආන්තික ණය දෙපාර්තමේන්තුව මගින් තමන් හා සම්බන්ධ කොටස් තැරැව්කාර සමාගම් වෙත මෙන්ම සියලුම කොටස් හිමිකරුවන් වෙතත් පසුගියදා ඊමේල් පණිවුඩයක් මගින් දැනුම් දී තිබේ.
ඒ අනුව MBSL සමාගම මගින් සිදු කිරීමට සැලසුම් කර ඇති මෙම කොටස් අලෙවිය වහාම අත්හිටුවීම සඳහා මැදිහත් වන ලෙස එම ආයෝජකයෝ කොළඹ කොටස් හුවමාරුවෙහි නියාමකයා වන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) වෙත ඉල්ලීම් ඉදිරිපත් කර සිටිති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එක් ආයෝජිකාවක, “MBSL සමාගමේ මෙම ආන්තික ණය පහසුකම ලබා ගනිමින් කොළඹ කොටස් හුවමාරුවෙහි ආයෝජනය කළ සිය ගණනක පිරිසක් මේ වනවිට බලපෑමට ලක්වෙලා තිබෙනවා. මොකද ඔවුන් දැඩි අවදානමක් අරගෙන තමන්ගේ මුදල් ආයෝජනය කරමින්, ඊට අදාළ ණය සඳහා පොළිය ගෙවමින් තමයි මේ දක්වා මේ ගමන ආවේ. ඒත් පසුගිය කාලසිමාවේදී කොටස් වෙළෙඳ පොළ දරුණු පසුබැසීමට ලක් වුණු නිසා ඔවුන් බලාපොරොත්තු වූ තරම් ලාභයක්හිමි වුණේ නෑ. දැන් මේ ආයෝජකයන් සතු කොටස් අඩු මිලට අලෙවි කිරීම නිසා ඔවුන් තවත් අසරණ වෙනවා.” යනුවෙන් පවසා සිටියි.
ඇය සඳහන් කරන ආකාරයට අද වන විට මෙම ගැටලුව හේතුවෙන් පවුල් ගැටලු මෙන්ම ඇතැම් පිරිස් සියදිවි නසා ගැනීම් දක්වාද යොමුව තිබෙන බවත් පැවසෙයි.
“පසුගිය කාලසීමාව පුරාම රටෙහි පැවැතුණු අයහපත් ආර්ථික තත්ත්වය නිසා අපගේ කොටස්වල මිල ගණන් පහළ ගියා. නමුත් දැන් ආර්ථිකය යහපත්වෙමින් කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සාර්ථකව ඉදිරියට යමින් සිටින අවස්ථාවක්. ඒනිසා අපි ඉල්ලන්නේ තවත් මාස දෙකක කාලයක් සඳහාවත් අපිට මේ කොටස් නිසි මිලට අලෙවි කරන්න අවස්ථාව සලසා දෙන්න කියලයි.”
වාර්තා සඳහන් කරන ආකාරයට MBSL සමාගම සිය ආන්තික ණය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අහවර කිරීමේ අරමුණින් මෙලෙස තමන් සතුව ඇති මෙම කොටස් අලෙවි කිරීමට සූදානමින් සිටියි. මෙලෙස තමන් සතුව ඇති මෙම කොටස් අලෙවි කිරීමේ හැකියාවක් එම සමාගම සහ කොළඹ කොටස් හුවමාරුව අතර ඇති කරගත් එකඟතාව තුළද සඳහන්ව තිබේ.
කෙසේ වෙතත් පසුගිය කාලසීමාවේදී රට තුළ ඇති වූ අයහපත් ආර්ථික තත්ත්වය පිළිබඳව සානුකම්පිතව සලකා බලමින්, මෙම ආයෝජකයන් සම්බන්ධයෙන් මානුෂිකව කල්පනා කරමින් මීට මැදිහත් වන ලෙස එම ආයෝජකයෝ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් සහ කොළඹ කොටස් හුවමාරුවෙන් මෙලෙස ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන තවත් ආයෝජකයෙකු, “පසුගිය අවුරුද්දේදී අපි මේ ආන්තික ණය ලබා ගනිමින් කොටස් මිලදී ගන්න කොට තිබුණේ 15%ක පොළියක්. ඊට පස්සේ එය 20%ක් දක්වා වැඩි වුණා. මේ අගෝස්තු මාසයේ ආරම්භයත් එක්කම එය 25%ක් බවට පත් කරලා තිබෙනවා. මෙවැනි ඉහළ පොළියක් ගෙවමින් තමයි අපි ආවේ. ඇතැම් අවස්ථාවලදී අපි ලාභ ලැබුවා. ඒ අවස්ථාවලදී MBSL වෙත තිබුණා අපගේ ණය පියවා ගන්න. ඒත් ඔවුන් එහෙම කළේ නෑ. එයත් යම් කපටිකමක් කියලයි අපිට හිතෙන්නේ. නමුත් දැන් ආර්ථිකය යහපත් වෙමින් තිබෙන අවස්ථාවේදී මේ විදියට අඩු මිලට කොටස් අලෙවි කරන්නේ ඇයි කියන දේත් අපිට පැහැදිලි නෑ. මෙය ඇත්තම කිව්වොත් වෘත්තීමය භාවයෙන් තොරව කටයුතු කිරීමේ අවස්ථාවක්.” යනුවෙන්ද පවසා සිටියි.
popular news
-
Chamara Ranasinghe Sunday, 07 August 2022 02:14 PM
They are playing a dirty game.
Reply : 0 0
Nilantha Sunday, 07 August 2022 02:30 PM
Mainly effect excess staffe and salery increment ,but not effect deters there is not write off ,CEB and Air Lanka include as deters in financial statement .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

