ICAC 2025 - කෘත්‍රිම බුද්ධි සහ ක්වොන්ටම් නව යුගයක් කරා
ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ "පරිගණක ක්ෂේත්රයේ ප්රගමනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව" (International Conference on Advancements in Computing - ICAC 2025), පසුගිය දෙසැම්බර් 09 සහ 10 යන දිනවල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. "පරිගණක තාක්ෂණයේ අනාගතය: AI, ක්වොන්ටම් සහ ඉන් ඔබ්බට" (The
Future of Computing: AI, Quantum and Beyond) යන තේමාව යටතේ පැවැති මෙම සමුළුව සඳහා ප්රමුඛ පෙළේ විද්වතුන්, ක්ෂේත්රයේ විශේෂඥයන් සහ පර්යේෂකයන් රැසක් සහභාගී විය.
මෙවර සමුළුව සඳහා පර්යේෂකයන් 2,000කට ආසන්න පිරිසකගෙන් පර්යේෂණ පත්‍රිකා 462ක් ඉදිරිපත් වූ අතර, ඉන් ස්වාධීන පිරික්සුම් ක්‍රියාවලියකින් පසු විශිෂ්ටතම පර්යේෂණ පත්‍රිකා 116ක් තෝරා ගැනුණි. නවීන පරිගණක තාක්ෂණයේ විවිධ අංශ 12ක් යටතේ සිදුකරන ලද මෙම පර්යේෂණ තුළින් ක්ෂේත්රයේ නවෝත්පාදන රැසක් එළිදැක්විණි.
ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඊගෝර් බ්රේ සහ කැනඩාවේ මැනිටෝබා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කාර්සන් කායි සැන් ලියොන්ග් යන කීර්තිමත් විද්වතුන් දෙපළ සමුළුවේ ප්‍රධාන දේශකයන් ලෙස එක්වූහ. ඔවුන්ගේ දේශන හරහා ගෝලීය වශයෙන් තාක්ෂණික ක්ෂේත්රයේ පවතින නවතම නැඹුරුතාවන් සහ විද්වත් අවබෝධය සමුළුවට එක් කිරීමට හැකි විය. ප්‍රධාන සමුළුවට සමගාමීව පූර්ව සහ පශ්චාත් සමුළු වැඩමුළු මාලාවක් ද පැවැත්විණි.
එහිදී IoT සහ ජාලකරණය, උත්පාදක කෘත්‍රිම බුද්ධිය සහ ව්‍යාපාරික පරිවර්තනය සඳහා වන Agentic AI වැනි උසස් තාක්ෂණික විෂයයන් පිළිබඳව දැනුම හුවමාරු කර ගැනුණි.
එසේම, වෛද්‍ය රූප විශ්ලේෂණය සඳහා GANs භාවිතය සහ තෙදින MongoDB පුහුණු වැඩසටහන වැනි පශ්චාත් සමුළු සැසි හරහා සහභාගී වූවන්ට ප්‍රායෝගික පුහුණුවක් සහ උසස් ක්‍රමවේද පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව හිමි විය.
ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ පරිගණක පීඨය මඟින් සංවිධානය කරනු ලබන මෙම ICAC සමුළුව Scopus දර්ශකයට ඇතුළත්, පර්යේෂණ ලොව පිළිගත් ඉහළ මට්ටමේ සමුළුවකි. Google Scholar දර්ශකයේ 16ක h-index අගයක් හිමිකරගෙන ඇති මෙම සමුළුව සඳහා IEEE ශ්‍රී ලංකා ශාඛාව තාක්ෂණික සහකරු ලෙස දායක විය.
තෝරාගත් සියලු පර්යේෂණ පත්‍රිකා IEEE Xplore ඩිජිටල් පුස්තකාලය වෙත ඉදිරිපත් කෙරේ. මෙවර සමුළුවේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස MongoDB ආයතනය කටයුතු කළ අතර, කොළඹ කර්ටින් විශ්වවිද්‍යාලය, Sysco LABS, Creative Software, People's Leasing සහ ඉන්දියාවේ ICT ඇකඩමිය ඇතුළු ආයතන රැසක් මෙයට සහය දැක්වූහ.
ICAC 2025 හි ප්‍රධාන සභාපති ආචාර්ය ප්‍රසන්න සුමතිපාල මහතා අදහස් දක්වමින්, "නවෝත්පාදනය, සහයෝගීතාවය සහ පරිගණක තාක්ෂණයේ අනාගතය උදෙසා ICAC 2025 සාර්ථකව නිම කිරීමට හැකිවීම විශාල ජයග්‍රහණයක්. ඉහළ මට්ටමේ තාක්ෂණික වැඩසටහන් සහ විද්වත් දේශන හරහා කෘතිම බුද්ධිය, ක්වොන්ටම් තාක්ෂණය සහ නැගී එන පරිගණක විධික්රමයන්හි දැනුම පුළුල් කිරීමට මෙවර සමුළුව සැබවින්ම සමත් වුණා." යැයි සඳහන් කළේය.
නව අදහස් හුවමාරු කර ගැනීම සහ ශක්තිමත් ක්ෂේත්‍ර සබඳතා ගොඩනැගීම හරහා, ICAC 2025 සමුළුව පරිගණක තාක්ෂණයේ අනාගතයට මග පෙන්වන නව මාවත් විවර කිරීමටත්, ගෝලීය පර්යේෂණ සබඳතා ශක්තිමත් කිරීමටත් සමත් වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

