CRIB සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවබෝධතා ගිවිසුමකට එලැඹෙයි
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) 2026 වසරෙහි ප්‍රථම ආයතනික හවුල්කාරීත්වය ඇති කර ගනිමින්, අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ශ්‍රී ලංකා නීතිඥ සංගම් ලේකම් කාර්යාලයේදී සිදු විය. මෙය ශ්‍රී ලංකා නීතිඥ සංගමය අලුතින් හඳුන්වා දුන් 'ආයතනික හවුල්කාර යෝජනා ක්රමයේ' ආරම්භය සනිටුහන් කරන අතර, ණය වාර්තා සහ ණය ලකුණු (Credit Score) හොඳ මට්ටමක පවත්වා ගෙනයෑමේ වැදගත්කම සමඟම සුරක්ෂිත ලත් ගනුදෙනු ලේඛනය පිළිබඳව නීති ක්ෂේත්රයේ වෘත්තිකයන් දැනුවත් කිරීම මෙහි අරමුණු වී ඇත.
මෙම අවස්ථාව සඳහා CRIB අධ්යක්ෂ/සාමාන්‍යාධිකාරී පුෂ්පික ජයසුන්දර, CRIB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජනක ලක්මාල්, CRIB කළමනාකාරිනී - නීති, සෞම්‍යා විජේසිංහ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ එහි භාණ්ඩාගාරික පසිඳු සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු ද්විපාර්ශ්වීය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
CRIB අධ්යක්ෂ / සාමාන්‍යාධිකාරී පුෂ්පික ජයසුන්දර මහතා මෙහිදී අදහස් දක්වමින්, " නීති ක්ෂේත්රය තුළ මූල්‍ය හා ණය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් CRIB ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ ආයතනික හවුල්කාරිත්වය ඇති කර ගත් අතර, එමඟින් පුද්ගලයන්ගේ සහ ආයතනවල ණය තත්ත්වය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට සහ කළමනාකරණය කිරීමට, ණය තොරතුරු සහ ණය ලකුණු (Credit Scores) භාවිතා කිරීම පිළිබඳව නීති වෘත්තිකයන් දැනුවත් කිරීමටත්, සුරක්ෂිත ලත් ගනුදෙනු ලේඛනය සහ එහි කාර්යයන් පිළිබඳව දැනුවත් කිරීමටත් අපි අපේක්ෂා කරනවා" යැයි ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා උත්සව සභාව අමතමින් පවසා සිටියේ, විවිධ ක්ෂේත්‍ර සමඟ සම්බන්ධ වීමට සහ අන්‍යෝන්‍ය ප්රතිලාභ සහිත මුලපිරීම් සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට මෙම ආයතනික හවුල්කාරීත්ව යෝජනා ක්‍රමය මඟින් හැකියාව හිමිවන බවයි. විශේෂයෙන්ම වඩාත් දැනුවත් වූ සහ අනාගතයට සූදානම් නීති වෘත්තියක් ගොඩනැගීමට දායක වන මුලපිරීම් කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනතින් (1995 අංක 8 සහ 2008 අංක 42 දරන පනත් මඟින් සංශෝධිත) ස්ථාපිත කරන ලද CRIB ආයතනය, දකුණු ආසියානු කලාපයේ ප්‍රථම ණය තොරතුරු කාර්යාංශයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ඇරඹි මෙම කාර්යාංශය, සියලුම ණය ලබාගන්නන්ගේ තොරතුරු සුරක්ෂිතව තබා ගන්නා ජාතික මධ්‍යස්ථානය ලෙස කටයුතු කරමින්, වඩාත් වේගවත් හා අඩු පිරිවැයකින් යුත් ණය පහසුකම් ලබා ගැනීමට සහ මූල්‍ය අන්තර්ගතභාවය (Financial Inclusion) ප්‍රවර්ධනය කිරීමට සහාය වන සේවාවන් රැසක් සපයනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

