CAIA “Motor Rally 2026” නිල වශයෙන් ප්‍රකාශ කෙරේ
සිලෝන් මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය (CAIA) මෙහෙයවන, සීඩීබී ෆිනෑන්ස් (CDB Finance PLC) ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය සහිත 'Motor Rally 2026' අගෝස්තු 16 වන දින පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇත.
ශ්‍රී ලංකාවේ සිටින ප්රමුඛ පෙළේ මෝටර් රථ ආනයනකරුවන්, ආයතනික හවුල්කරුවන් සහ මෝටර් රථ ලෝකයේ විවිධත්වය අදත්විදීමට උනන්දුව දක්වන පිරිස් එකම තැනකට ගෙන ඒම මෙම මෝටර් රැලියේ ප්‍රධානතම අරමුණ වී තිබේ.
'Motor Rally 2026' නිල සමාරම්භය පසුගියදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී සිදු විය. මෙම දැවැන්ත මෝටර් රථ සැණකෙළිය සඳහා සීඩීබී ෆිනෑන්ස් පීල්සී(CDB Finance PLC) ආයතනය නිල අනුග්‍රාහකත්වය (Title Sponsor) සපයන අතර, ප්‍රධාන අනුග්‍රාහකයා (Main Sponsor)ලෙස සින්ගර් ෆිනෑන්ස් පීල්සි(Singer Finance PLC) ආයතනය කටයුතු කරනු ඇත. ප්ලැටිනම් අනුග්‍රාහකත්වය හෝම් ලෑන්ඩ්ස් (Home Lands) සමූහය සපයනු ලබයි.
මාධ්‍ය හමුව අමතමින් සිලෝන් මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසා සිටියේ, "සිලෝන් මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය (CAIA) කියන්නේ ලංකාවේ මෝටර් රථ ක්ෂේත්රය තුළ බලපෑමක් ඇති කළ හැකි විශාල සාමාජික සංඛ්‍යාවක් සිටින ප්‍රධානතම සංගමයක්. අපේ අරමුණ ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්රය තුළ සමගිය සහ විශිෂ්ටත්වය ඇති කිරීම. 2026 අගෝස්තු 16 වෙනිදා පැවැත්වෙන මෝටර් රථ රැලිය කියන්නේ ඒ සාමූහික ශක්තියේ තවත් එක් ප්‍රතිබිම්බයක්. මේ දැවැන්ත කාර්යයේදී ප්‍රධාන පාර්ශ්වකරුවන් ලෙස එකතු වූ CDB, Singer Finance සහ Home Lands ආයතනවලට මගේ ගෞරවනීය ස්තූතිය පිරිනමනවා. අපගේ විශාල සාමාජික පිරිසගේ කැපවීමත්, මේ ගෞරවනීය අනුග්රාහකයන්ගේ සහයෝගයත් එක්ක මේ රැලිය මෝටර් රථ ක්ෂේත්රයට අලුත් මාවතක් පෙන්වන විශිෂ්ට මෝටර් රැලියක් වන බවට මම විශ්වාස කරනවා" යනුවෙනි.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ මෝටර් රථ ආනයනකරුවන් විසින් මෙරටට ගෙන්වන ලද විවිධ මාදිලියේ මෝටර් රථ රැසක් මෙම 'Motor Rally 2026' දී ප්‍රදර්ශනය කිරීමට නියමිතය. මෝටර් රථ ධාවනය සදහා එක්වන්නන්ට නවමු අත්දැකීමක් ලබා ගැනීමට හැකිවන පරිදි, කොළඹ සහ ඒ අවට තෝරාගත් සුවිශේෂී ගමන් මාර්ගයක් මේ සදහා යොදා ගැනේ. මෝටර් රථ ලෝලීන් තුළ ආරක්ෂාකාරී රිය පැදවීම ප්‍රවර්ධනය කිරීම සහ අනෙකුත් පාර්ෂවයන් සමග සහයෝගීතාවය වර්ධනය කරමින්, දේශීය මෝටර් රථ ක්ෂේත්රය තුළ ඵලදායී ක්රියාකාරීත්වයක් ඇති කිරීම මෙම රැලිය මගින් අරමුණු වේ.
සිලෝන් මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය (CAIA) යනු, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ආනයන ක්ෂේත්රය නියෝජනය කරන ප්‍රමුඛතම සහ නිල වෘත්තීය සංගමය වේ. වාහන ආනයනකරුවන්ගේ ව්‍යාපාරික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙම ආයතනය, රේගු රෙගුලාසි සහ බදු ප්‍රතිපත්ති ඇතුළු ක්ෂේත්රයට අදාළ තීරණ ගැනීමේදී රජය සහ ව්‍යාපාරිකයන් අතර ප්‍රධාන සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කරනු ලබයි. මෙරට පාරිභෝගිකයන්ට ප්‍රමිතියෙන් උසස් වාහන ලබාදීම තහවුරු කරන ඔවුන්, මෝටර් රථ ප්‍රදර්ශන සහ රැලි (Rallies) සංවිධානය කරමින් ශ්‍රී සිලෝන්වේ වාහන කර්මාන්තයේ නූතන වර්ධනය සහ ප්‍රවර්ධනය උදෙසා සක්‍රීයව දායකත්වය සපයනු ලබයි.
CDB Finance PLC හි අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන අධ්යක්ෂ සසින්ද්‍ර මුණසිංහ මහතා මාධ්‍ය හමුවේ සිය අදහස් දක්වමින්, "මෙම මෝටර් රැලිය සවිබල ගැන්වීම සඳහා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Automobile Importers Association) සමඟ හවුල්කාරිත්වයකට එළඹීමට ලැබීම CDB ආයතනයට මහත් ගෞරවයක්. ප්රගතිශීලී මුල්‍ය විසඳුම් සම්පාදකයෙකු ලෙස, නව්‍ය මූල්‍ය නිෂ්පාදන හරහා ජනතාවට වාහන හිමිකර ගැනීමේ පහසුකම් සලසන අතර, මෝටර් රථ ක්ෂේත්රයේ වර්ධනයට සහය වීමට අපි නිරන්තරයෙන් කැපවී සිටිනවා. මෙම රැලිය මෝටර් රථ පිළිබඳ සැමරුමක් පමණක් නෙමෙයි. එය සමස්ත ක්ෂේත්රයේ පරිණාමය, නම්‍යශීලී පැවැත්ම මෙන්ම අනාගත ශක්‍යතාව පිළිබඳව තැබූ තවත් එක් පියවරක්" යැයි සඳහන් කළේය.
Singer Finance PLC හි කළමනාකාර අධ්යක්ෂ තුෂාන් අමරසූරිය මහතා පවසා සිටියේ, "වාහන කෙරෙහි ඇති කැමැත්ත මෙන්ම ශ්‍රී ලාංකේය මෝටර් රථ ක්ෂේත්රයේ සාමාජිකයන්ගේ අඛණ්ඩ වර්ධනය හොදින්ම ඉස්මතු කරන 'සිලෝන් වාහන ආනයනකරුවන්ගේ මෝටර් රැලිය' (Ceylon Automobile Importers Motor Rally) සමඟ එක්වීමට ලැබීම පිළිබඳව Singer Finance ආයතනය බෙහෙවින්ම සතුටට පත්වෙනවා. මෙම හවුල්කාරිත්වය 'ඔබේ අංක 1 ලීසිං හවුල්කරු' ලෙස අප ඔබට ලබා දෙන පොරොන්දුවට නිවැරදිවම ගැලපෙන අතර, විශ්වාසනීය මූල්‍ය විසඳුම් හරහා තවත් බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ වාහන සිහිනය සැබෑ කරලීමට අපි ඉදිරියටත් කැපවී කටයුතු කරනවා" යනුවෙනි.
හෝම් ලෑන්ඩ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ නලින් හේරත් මහතා සිය අදහස් දක්වමින්, "සිලෝන් වාහන ආනයනකරුවන් විසින් සංවිධානය කරන 'මෝටර් රැලිය 2026' සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම හෝම් ලෑන්ඩ්ස් ආයතනය ලැබූ ගෞරවයක්. ශ්‍රී ලංකාවේ අංක1, විශ්වාසනීය මෙන්ම වඩාත්ම නව්‍යකරණයට ලක්වූ රියල් එස්ටේට් නාමය ලෙස, විශ්වාසය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය පෙරදැරි කරගනිමින් උසස්ම රියල් එස්ටේට් විසඳුම් ලබාදීමේ අපගේ අරමුණු සමග මෙම සහයෝගීතාවය හොදින් ගැලපෙනවා"යැයි ප්‍රකාශ කර සිටියේය.
'Motor Rally 2026' මඟින් ප්රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින්, මෝටර් රථ සන්නාම, මාධ්‍ය නියෝජිතයින් සහ මෝටර් රථ ලෝලීන් විශාල පිරිසක් එක් තැනකට ගෙන ඒමට අපේක්ෂා කරන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ අනාගත ශක්තිමත්භාවය තවදුරටත් තහවුරුවනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
