2D බාර්කෝඩ් තාක්ෂණය කරා ශ්‍රී ලංකාවේ පෙරළිකාර පිවිසුමක්
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හඳුනාගැනීමේ ක්‍රියාවලියේ මීළඟ සන්ධිස්ථානය සනිටුහන් කරමින්, පුළුල් පරාසයක පැතිරුණු 2D බාර්කෝඩ් භාවිතය සහ විශ්වාසනීය නිෂ්පාදන තොරතුරු සඳහා වර්ධනය වෙමින් පවතින ඉල්ලුම වෙත ව්‍යාපාරික ප්‍රජාව යොමුකිරීමේ අරමුණින් GS1 Lanka ආයතනයේ 10 වැනි වාර්ෂික මහා සභා රැස්වීම (AGM) පවත්වන ලදී.
මෙහිදී අදහස් දැක්වූ GS1 Lanka සභාපති රෙවාන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ, මීට වසර 30කට අධික කාලයක සිට ශ්‍රී ලාංකේය නිෂ්පාදන සඳහා ගෝලීය වශයෙන් පිළිගත් අනන්‍යතාවක් ලබා දීමට GS1 ආයතනය කටයුතු කර ඇති බවයි. විශේෂයෙන්ම පාරිභෝගිකයන් දැන් භාණ්ඩයක මූලික අනන්‍යතාවෙන් ඔබ්බට ගොස් එහි නිෂ්පාදිත ප්රභවය, අඩංගු ද්‍රව්‍ය, සත්‍යතාව සහ භාවිතය පිළිබඳ විශ්වාසදායක තොරතුරු අපේක්ෂා කරන යුගයක, සාම්ප්‍රදායික බාර්කෝඩ් සිට 2D බාර්කෝඩ් වෙත යොමුවීම මීළඟ ප්‍රධාන පියවර බව ඔහු අවධාරණය කළේය.
'Sunrise 2027' ගෝලීය මුලපිරීම සහ 2D බාර්කෝඩ් වෙත පිවිසුම
GS1 Sunrise 2027 යනු 2027 වසර අවසන් වන විට සාම්ප්‍රදායික 1D UPC ඉරි සහිත තීරු (stripes) සමඟ QR කේත සහ Data Matrix කේත වැනි 2D බාර්කෝඩ් කියවීමට සිල්ලර වෙළඳපොළේ මුදල් ගෙවන කවුන්ටර (checkout systems) පද්ධති යාවත්කාලීන කිරීම අරමුණු කරගත් ගෝලීය කර්මාන්ත මුලපිරීමකි.
මෙම Sunrise 2027 මුලපිරීම යටතේ, GS1 Lanka ආයතනය සිල්ලර වෙළෙඳ සහ සෞඛ්‍ය අංශ සමඟ ඒකාබද්ධව ව්‍යාපාරිකයන් 2D බාර්කෝඩ් වෙත සංක්‍රමණය වීමට සූදානම් කරමින් සිටී. සාම්ප්‍රදායික මුදල් ගෙවන කවුන්ටරයකදී භාවිත කරන බාර්කෝඩ් මෙන් නොව, GS1 QR කේතයක් මඟින් පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක පැතිරුණු නිෂ්පාදන තොරතුරු ලබාදීමටත්, GS1 ප්රමිතීන් හරහා භාණ්ඩවල අව්‍යාජභාවය සහ නිෂ්පාදන මූලාරම්භය තහවුරු කිරීමටත් (traceability) පූර්ණ සහාය ලබා දෙනු ඇත.
මෙම වෙනස්වීමත් සමඟ නිෂ්පාදන ඇසුරුම්වල ඇති සීමිත ඉඩ ප්‍රමාණය ව්‍යාපාරිකයන් විසින් වඩාත් නුවණින් යුතුව භාවිත කළ යුතු ආකාරය සහ පාරිභෝගිකයන් සමඟ සන්නිවේදනය කළ යුතු ආකාරය නැවත සිතා බැලීමට සිදුවන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. මෙහිදී වෙළෙඳ නාම (brands) වෙත වඩාත් පුළුල් නිෂ්පාදන තොරතුරු සැපයීමට සහ පාරිභෝගිකයන් වෙත නිෂ්පාදන වඩාත් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කිරීමට උපකාරී වන නව සිල්ලර තොරතුරු වේදිකාවක් (retail information platform) හඳුන්වා දීමටද GS1 Lanka කටයුතු කර තිබේ.
ගෝලීය සැපයුම් දාමයන් සමඟ ශ්‍රී ලාංකේය ව්‍යාපාර එකතු කිරීම
මේ පිළිබඳව අදහස් දක්වමින් GS1 Lanka ප්‍රධාන විධායක නිලධාරී අලිකී පෙරේරා මෙනවිය සඳහන් කළේ, ගෝලීය සැපයුම් දාමයන්හි සිදුවන වෙනස්වීම් සහ පාරිභෝගික අපේක්ෂාවන්ට ගැළපෙන අයුරින් ශ්‍රී ලාංකේය ව්‍යාපාර රැක ගැනීමට සහ ඉදිරියට ගෙනයාමට තම ආයතනයේ මෙහෙවර ක්‍රමයෙන් පුළුල් වෙමින් පවතින බවයි. වඩාත් එකිනෙකට සම්බන්ධ වූ සහ තොරතුරුවලින් අනූන වෙළෙඳපොළක් සඳහා ව්‍යාපාර සූදානම් වනවිට, ඉදිරි අදියරේදී 2D බාර්කෝඩ්, GS1 ඩිජිටල් සබැඳිය (GS1 Digital Link), භාණ්ඩ මූලාරම්භය සෙවීම (traceability) සහ ඩිජිටල් නිෂ්පාදන තොරතුරු කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.
ප්‍රාදේශීය මට්ටමින්, ව්‍යවසායකයන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් (SMEs), නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් ඉලක්ක කර ගනිමින් නිෂ්පාදන හඳුනාගැනීම, බාර්කෝඩ් ප්රමිතීන්, සැපයුම් දාම කාර්යක්ෂමතාව සහ වෙළෙඳපොළට පිවිසීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට GS1 Lanka ආයතනය කටයුතු කර ඇත. තවද, GS1 Activate සහ Verified by GS1 වේදිකාවන් හි වර්ධනයක් දක්නට ලැබෙන අතර, මේ වනවිට සාමාජික සමාගම් 5,500කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී නිෂ්පාදන වාර්තා 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් අප්ලෝඩ් කර තිබේ.
ශ්‍රී ලාංකේය ව්‍යාපාර අතර ගෝලීය ප්රමිතීන් සහ නව නිෂ්පාදන හඳුනාගැනීමේ තාක්ෂණයන් පුළුල් ලෙස භාවිතයට ගැනීම සඳහා GS1 Lanka සාමාජිකයන්, හවුල්කරුවන්, අධ්යක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය දැක්වූ දායකත්වය අගයමින් මෙවර වාර්ෂික මහා සභා රැස්වීම අවසන් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

