27 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල දෙසැම්බර් 11දා
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 දෙසැම්බර් මස 11දා (බ්‍රහස්පතින්දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වීමට නියමිතය.
අපනයන ක්ෂේත්රයට සහ ආර්ථික ප්රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන උසස්ම සම්මානය ජනාධිපති අපනයන සම්මානයයි. මෙම සම්මාන ප්රදානය මගින් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගයීමයි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජනාධිපති අපනයන සම්මාන ප්‍රදාන වැඩසටහන 1981 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර මේ දක්වා සම්මාන උළෙල 26ක් සංවිධානය කොට ඇත. 27වන ජනාධිපති අපනයන සම්මාන උළෙල සඳහා කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්,අපනයනකරුවන් ඇතුළු ආරාධිතයින් 1,500ක් පමණ සහභාගී වීමට නියමිතය.
2024/2025 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා මෙවර සම්මාන උළෙල පැවැත්වේ. සමස්ත සම්මාන 15ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 51ක් සහිතව ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ සම්මාන 66ක් පිරිනැමේ. තවද, අයදුම්කරුවන්ගේ කාර්ය සාධනය මෙන්ම ජාතික ආර්ථිකයට අදාළ අංශවල අපනයන දායකත්වය සැලකිල්ලට ගනිමින් විනිසුරු මඩුල්ල විසින් තීරණය කරනු ලබන පරිදි සුදුසුකම් ලත් අංශ සඳහා කුසලතා සම්මාන පිරිනැමීම ද සිදු කෙරේ. ආංශික සම්මාන තෝරා ගැනීම අපනයන ආදායම මත පමණක් නොව තවත් නිර්ණායක කිහිපයක් මත පදනම් වූ අතර අපනයන වෙළඳපල විවිධාංගීකරණය, රැකියා උත්පාදනය, අපනයන ආදායමෙහි වර්ධනය , අපනයන ආදායම් ආපසු රටතුලට ගෙන්වා ගැනීම, පාරිසරික තිරසාරභාවය සහ ආයතනික සමාජ වගකීම, අගය එකතු කිරීම වැනි දෑ සැලකිල්ලට භාජනය විය.
මෙම කීර්තිමත් සම්මානය සඳහා අපනයන ප්‍රජාවගේ උද්යෝගය පෙන්නුම් කරමින් අයදුම්පත් විශාල සංඛ්‍යාවක් අපනයන සංවර්ධන මණ්ඩලය වෙත මෙවර ලැබී තිබිණි. අයදුම්පත් වල මූලික ඇගයීම තාක්ෂණික කමිටුව විසින් සිදු කරන ලද අතර සම්මානලාභින් තෝරා ගැනීම සිදුකරනු ලැබූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසිනි. Ernst & Young (EY) 27 වැනි ජනාධිපති අපනයන සම්මාන උලෙළ සඳහා “දැනුම සහකරු” ලෙස කටයුතු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

