ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අප්‍රේල් මාසයේ පැවති 5.5% සිට 2021 මැයි මාසයේදී 6.1%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්වල සිදුවූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු වී ඇත.
මේ අතර ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 අප්‍රේල් මාසයේදී පැවති 9.7% සිට මැයි මාසයේදී 10.3%ක් දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 අප්‍රේල් මාසයේ පැවති 2.2% සිට මැයි මාසයේදී 2.5% දක්වා ඉහළ ගොස් තිබේ.
ආහාර කාණ්ඩයෙහි ප්‍රධාන වශයෙන් පොල්තෙල්, සහල් සහ නැවුම් මත්ස්‍ය මිල ගණන්වල ඉහළ යෑමක් දක්නට ලැබුණි. තවද සෞඛ්‍ය (රසායනාගාර ගාස්තු, පෞද්ගලික රෝහල්, සාත්තු නිවාස ගාස්තු), නිවාස, ජලය සහ ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තු යන උප කාණ්ඩවල මිල ගණන්ද ඉහළ යෑම හේතුවෙන් ආහාර නොවන කාණ්ඩයෙහි මිල ගණන්ද ඉහළ යෑමක් මැයි මාසයේදී වාර්තා විය.