2020 වනවිට රටේ සීනි අවශ්‍යතාවෙන් 40%ක් දේශීය වශයෙන් නිපදවීම අරමුණු කර ගනිමින් කන්තලේ, හිඟුරාන, සෙවණගල හා පැල්වත්ත සීනි කර්මාන්තායතනයන් පුනරුත්ථාපනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරී කමිටුවේ නිර්දේශ මත සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
යෝජනාවේ ඇතුළත් ඇතැම් වැදගත් අංගයන් කිහිපයක් වන්නේ ඉහත කර්මාන්තායතන හතර සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාගැනීම සඳහා 100% රාජ්‍ය සමාගමක් වන සී/ස ලංකා සීනි (පෞද්ගලික) සමාගම වෙත එහි හිමිකරු ප්රාග්ධනය වර්ධනය කිරීම සඳහා කන්තලේ, හිඟුරාන, සෙවණගල හා පැල්වත්ත යන සීනි කර්මාන්තායතනවලට අයත් ඉඩම් හෙක්ටයාර 27,567ක් වසර 99ක් සඳහා බදු දීමයි.
චෙක් ජනරජයේ සහය ඇති ව කන්තලේ සීනි කර්මාන්තායතනය සංවර්ධනය කිරීම හා නවීකරණය කිරීමත් උක් වගා කිරීම සඳහා ඉඩම් කට්ටි, උක් මිල දී ගැනීම පිළිබඳ ව ගොවීන් සමඟ ඇති කරගන්නා ගිවිසුම් මඟින් ඔවුන් වෙත ලබාදීම. දැනටමත් උක් වගාවේ යෙදී සිටින හා අදාළ කර්මාන්තායතන පිහිටි දිස්ත්‍රික්ක තුළ වාසය කරන ගොවීන් හට ප්‍රමුඛතාව ලබාදෙන බවත් එහි ඇතුළත් වේ.