ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් ගණනය කර ඇති 2016 වසර සඳහා වූ පළාත් දළ දේශීය නිෂ්පාදිතය අනුව රු.බිලියන 4,697ක් ලෙස ඉහළම දායකත්වය බස්නාහිර පළාතෙන්ද, දෙවැනි සහ තෙවැනි දායකත්වය පිළිවෙළින් රු.බිලියන 1,262ක් ලෙස සහ රු.බිලියන 1,248ක් ලෙස වයඹ සහ මධ්‍යම පළාත් විසින්ද ලබාදී තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන නාමික අගය මත දළ දේශීය නිෂ්පාදිතය පළාත් අනුව බෙදාහැරීමෙන් 2016 වසර සඳහා මෙම පළාත් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කර ඇති අතර, සමස්ත දළ දේශීය නිෂ්පාදිතය පළාත් අනුව ගණනය කිරීමේදී එහි එක් එක් අයිතමයේ වටිනාකමට අදාළ පළාත් මට්ටමින් සකස් කරගත් දර්ශක යොදාගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව, 2016 වසරේදී නාමික අගය අනුව දළ දේශීය නිෂ්පාදිතය රු.බිලියන 11,839ක් දක්වා 8.1%කින් වර්ධනය වී ඇති අතර, ඒක පුද්ගල ආදායම රු.558,363ක් (ඇ.ඩො.3,835ක්) වී තිබේ. 2016 වසරේ පළාත් දළ දේශීය නිෂ්පාදිතයෙහි සමස්ත ක්‍රියාකාරීත්වය රටෙහි සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙහි සාමාන්‍ය ප්‍රවණතාව සහ ආර්ථික කටයුතුවල වර්ධනය වීම පිළිබිඹු කරන්නක් බව පෙන්වා දෙන මහ බැංකුව, මෙවර කෘෂිකර්මික කටයුතුවල මන්දගාමී ක්‍රියාකාරීත්වය, කෘෂිකර්මාන්ත අංශය ප්‍රධාන ආර්ථික අංශය බවට පත්වූ පළාත්වල මන්දගාමී ක්‍රියාකාරීත්වයට හේතු වූ බවද පෙන්වා දෙයි. බස්නාහිර පළාත, දළ දේශීය නිෂ්පාදිතයෙන් 39.7%කට දායක වෙමින් සමන්ත ආර්ථික ක්‍රියාකාරීත්වය අඛණ්ඩව මෙහෙයවනු ලැබූවද, ප්‍රාදේශීය ආර්ථික කටයුතු වර්ධනය වීම සමග අනෙකුත් පළාත්වල දායකත්වය ක්‍රමයෙන් වර්ධනය වී ඇති බවද මහ බැංකුව පවසයි.
පළාත් අනුව දළ දේශීය නිෂ්පාදිතය සඳහා දායකත්වය
පවත්නා වෙළෙඳ පොළ මිල අනුව ගණනය කළ පළාත් දළ දේශීය නිෂ්පාදිතය රූප සටහන 01 මගින් දක්වා ඇති අතර, එහිදී, රු.බිලියන 4,697ක ඉහළම දායකත්වය බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ. එමෙන්ම, දෙවැනි සහ තෙවැනි දායකත්වය පිළිවෙළින් රු.බිලියන 1,262ක් ලෙස සහ රු.බිලියන 1,248ක් ලෙස වයඹ සහ මධ්‍යම පළාත් විසින් ලබාදී ඇති අතර, දකුණු පළාත, 2016 වසරේදී රු.බිලියන 1,190ක දායකත්වය සමගින් සිව්වැනි ස්ථානය වාර්තා කර ඇති බව මහ බැංකුව පවසයි.
රූප සටහන 01
දළ දේශීය නිෂ්පාදිතයට පළාත් අනුව ප්‍රතිශත දායකත්වය
දළ දේශීය නිෂ්පාදිතයට පළාත් අනුව ප්‍රතිශත දායකත්වය රූප සටහන 02 මගින් දක්වා අතර, එහිදී,10% ක් හෝ ඊට වැඩි දායකත්වයක් බස්නාහිර, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත් විසින් වාර්තා ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.
රූප සටහන 02
මෑත කාලීනව දක්නට ලැබුණු පළාත්බද විෂමතා අඩුවීමේ ප්‍රවණතාව තවදුරටත් පෙන්නුම් කරමින් 2016 වසරේදී බස්නාහිර පළාත ද.දේ.නිෂ්පාදිතයට දක්වන දායකත්වය පහත වැටී තිබේ. කෙසේ නමුත්, බස්නාහිර පළාත ද.දේ.නිෂ්පාදිතයට 39.7% ක දායකත්වයක් ලබාදෙමින් ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන පළාත බවට තවදුරටත් පත්ව ඇති බව මහ බැංකුව පවසයි.
පළාත් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන අනුපාත
ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙන පරිදි 2016 වසරේදී සියලු පළාත් ධනාත්ක නාමික වර්ධන අනුපාතයක් වාර්තා කර ඇති අතර, (රූප සටහන 03) ඌව පළාත 12.4% ක ඉහළ නාමික වර්ධන අනුපාතයක් වාර්තා කර තිබේ. දෙවැනි සහ තෙවැනි ඉහළ වර්ධන අනුපාතයන් වන 9.5% සහ 8.9% පිළිවෙළින් උතුරු සහ නැගෙනහිර පළාත්වලින් වාර්තා වී ඇති අතර, වයඹ සහ සබරගමුව පළාත්වල වර්ධන වේගය රටෙහි නාමික වර්ධන අනුපාතය වන 8.1% ට වඩා ඉහළ අගයක පවතින බවද මහ බැංකුව පවසයි.
රූප සටහන 03
පළාත් දළ දේශීය නිෂ්පාදිතයේ ආංශික සංයුතිය
පළාත් අනුව ද.දේ.නිෂ්පාදිතයට ආර්ථික ක්‍රියාකාරකම් දැක්වූ දායකත්වය රූප සටහන 04 මගින් දක්වා ඇත. එහිදී, පළාත් අතර ද.දේ.නිෂ්පාදිතයෙහි සංයුතියේ සැලකිය යුතු වෙනස්කම් නිරීක්ෂණය කළ හැකි වුවද, පසුගිය වසර 02ක කාලය සැලකීමේදී පළාත් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙහි සංයුතිය ආසන්න වශයෙන් නොවෙනස්ව පැවතී ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.
රූප සටහන් 04
පළාත් අනුව ඒක පුද්ගල ආදායම
පළාත් අනුව ඒක පුද්ගල නාමික ආදායම රූප සටහන 05 මගින් දක්වා ඇති අතර, සියලුම පළාත්වල ඒක පුද්ගල ආදායම ඉහළ ගොස් ඇති බවත්, බස්නාහිර පළාතේ ඒක පුද්ගල ආදායම පමණක් පසුගිය වසර දෙක තුළදී වාර්තා වූ දිවයිනේ සමස්ත ඒක පුද්ගල ආදායම් තත්ත්ව ඉක්මවා ගිය බවත් මහ බැංකුව පවසයි. සියලුම පළාත්වල ඒක පුද්ගල ආදායම් අනුපාතිකය සහ දිවයිනේ සමස්ත ඒක පුද්ගල ආදායම් අනුපාතිකය සැලකීමේදී 2015 සහ 2016 වසරවලදී එම අනුපාතිකය නොවෙනස්ව පැවති ආකාරයද මෙහිදී පිළිබිඹු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
රූප සටහන 05